TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මේ තරගාවලියෙන් වීරයෙක් බිහිවෙනවා

. Views 2067 28 May 2016 19:38


වසර 20 කට ආසන්න කාලයක් ගුවන් විදුලි සහ රූපවාහිනී විචාරකයකු වශයෙන් කටයුතු කරන රොෂාන් අබේසිංහ ශී‍්‍ර ලංකා - එංගලන්ත තරගාවලියේදී බී. බී. සී. ටෙස්ට් මැච් ස්පෙෂල් සේවය සමග එක්ව කටයුතු කරයි.

ව්‍යාපාරිකයකු වන අතරේම කි‍්‍රකට් පරිපාලන නිලධාරියකු ලෙසද කටයුතු කර ඇති රොෂාන් අබේසිංහ මහතා සමග කළ සංවාදයක් මෙසේ සටහන් වෙයි.


ඔබ කොහොමද විස්තර විචාරයට එක්වුණේ...?

ඒක ගොඩාක් කාලෙකට කලින් පටන් ගත්තු එකක්. ඒ කියන්නේ 1995 දී.
මම නිතරම හිතුවේ රට වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන්න තරම් මගේ දස්කම් ප‍්‍රමාණවත් නොවුණු බවයි. මොකද සමහර වෙලාවට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතවෙද්දී  ඕන කෙනෙකුට දැනෙනවා ඔබ කොයිතරම් හොඳ ද කොයිතරම් නරක ද කියලා.

කී‍්‍රඩාව හැරුණාම ඊළඟට රට වෙනුවෙන් මොනව හරි කරනවානම් හොඳම දේ මාධ්‍යය කියලා මට හිතුණා.

මාධ්‍යයත් කී‍්‍රඩාවට එක්ක ගොඩාක් ළඟින් යන දෙයක්. ඔබ විස්තර විචාරකයකු වෙනවානම්. මට මුලින්ම හිතුණේ ගුවන්විදුලි විස්තර විචාරකයෙක් වෙන්නයි. අපි පොඩි කාලේ..අපි තරුණ කාලේ...අපි පුරුදුවෙලා හිටියේ ගුවන්විදුලියෙන් ටෙස්ට් කි‍්‍රකට් තරගවල විස්තර විචාර අහන්නයි. විශේෂයෙන් ඒ.බී.සී. රේඩියෝ වගේ ඒවා වල. ඒ කාලේ අපිට රූපවාහිනි තිබුණේ නෑ. රූපවාහිනිය ලංකාවට ආවේ 1978 දී මම නිවැරැදිනම්. ඊට කලින් තිබුනේ ගුවන්විදුලිය විතරයි. අපිට ඒ කාලේ ජෝන් ආලට්, බ‍්‍රයන් ජොන්ස්ටන්, කි‍්‍රස්ටෝපර් මාටින් ජේන්කින්ස්, ඇලන් මැගිල්රේ, ජිම් මැක්ස්වෙල් (ඔහු අදටත් විස්තර විචාරයේ යෙදෙනවා) මේවා ලොකු නම්. එයාලා කි‍්‍රකට් තරග විස්තර කරන විදිහ ගැන මම වශීවෙලයි හිටියේ. ඒක තමයි මාව ඒකට යොමුවෙන්න හේතු වුණේ. ඉතින් මම හිතුවා මේක තමයි ගවේෂණය කරලා බලන්න  ඕන ක්ෂේත‍්‍රය කියලා. එහෙම තමයි ඒක පටන් ගත්තේ.


ඔබේ විස්තර විචාරක ජීවිතය කෙබඳු ද...?

ඒක කඳු පල්ලම්වලින් සමන්විත එකක් වගේ. මට අති විශාල අත්දැකීම් සම්භාරයක් ලැබුණා.
මම ගොදුරක් වුණා. ....මම කිව යුතුයි...කි‍්‍රකට් පරිපාලකයන්ගේ...එයාලා මාව අඳුනාගෙන තිබුණේ එක්තරා පාර්ශ්වයක කෙනෙක් විදිහටයි. අනිත් පාර්ශවය බලයට ආවම මුලින්ම කළේ මාව විස්තර විචාරවලින් අයින් කරපු එකයි. මොකද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට තවම අයිතියක් තියෙනවා අන්තර්ජාතික විස්තර විචාරක කමිටුවට විස්තර විචාරකයන් නම් කරන්න. ඉතින් ඒක පවත්වාගෙන යාම ගොඩක් දුෂ්කර ගමනක් වුණා. අත්දැකීම්... සුපුරුදු ඉරිසියාකම්....පිටුපස්සෙන් ඇවිත් පිහියෙන් ඇනීම් වගේ සාමාන්‍ය ජීවිතයේ සිද්ධවෙන සුපුරුදු දේවල්වලට අමතරව. කොහොමවුණත් ඒක පී‍්‍රතිමත් ගමනක්. මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම කතෝලික බැතිමතෙක්. මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. මම ගොඩාක් යාච්ඥා කරනවා.


ඔබේ විස්තර විචාරක දිවියේ අමතක නොවෙන සිදුවීම් මොනවාද..?

ඒ වගේ මතකයන් කිහිපයක්ම තියෙනවා.
මම පටන් ගත්තේ 1996 දී. ඒ කාලේ තමයි මං දේශීය ගුවන්විදුලි නාලිකාවකට කි‍්‍රකට් තරගවල අලූත්ම තත්ත්ව විස්තර කරමින් හිටියේ. ශී‍්‍ර ලංකාව 1996 ලෝක කුසලානය දිනාගත්තා. අවසන් තරගය යද්දී මම එතැන හිටියා. ඒක තමයි ශී‍්‍ර ලංකාව දිනාගත්තු එකම  ඕවර 50 ලෝක කුසලානය. මම කියන්නේ එකම ලෝක කුසලානය කියලයි.  මොකද විස්සයි20 තරගාවලිය ලෝක කුසලාන තරගාවලියක් විදිහට නෙවෙයි හඳුන්වන්නේ. ඒ තරගාවලියට කියන්නේ විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය කියලයි. ඉතින් අපි ලෝක කුසාලනයක් දිනාගත්තේ 1996 දී. ඉතින් මම ලබපු විශාල වරප‍්‍රසාදයක් ඊට සහභාගිවීම. ඒක තමයි මට මුල්ම වතාවට පැවරුණු රාජකාරිය පළමුවැනි විදේශ සංචාරය.. ලංකාවෙන් පිට පළමුවැනි රාජකාරිය මම පටන් ගත්තා විතරයි. ඉතිහාසගත තරගාවලියක කොටස්කාරයෙක් වීම ඒක හැමදාම තියේවි මගේ මතකයේ. ඒක සදාකාලික මතක සටහනක්.

ඒ හැරුණාම මගේ ජීවිතයේ ලැබුණු විශිෂ්ට අවස්ථාවක් අතිවිශාල කී‍්‍රඩාංගණ කිහිපයකදී විස්තර විචාරකයකු විදිහට කටයුතු කරන්න ලැබීම. ලෝඞ්ස් වගේ කී‍්‍රඩාංගණවල. ලෝඩ්ස් තණතීරුවේ දී මට ශී‍්‍රමත් ඉයන් බෝතම් එක්ක සම්මුඛ සාකච්ඡුාවක නිරතවීමේ භාග්‍ය ලැබුණා. බලන්න..ඒවා හිතාගන්න බැරි මතක සටහන්.

එම්.සී.ජී, එස්.සී.ජී. වගේ දැවැන්ත කී‍්‍රඩාංගණවල. ඊළඟට මට පැරැණි හෙඩින්ග්ලි විස්තර විචාරක කුටියේ විස්තර විචාරයේ යෙදෙන්න ලැබුණා. ඒක හරිම පොඩි විචාරක කුටියක්. ඒකේ ඉඳගත්තම මට හිතුනේ මෙතැන නේද මාධ්‍යයේ දැවැන්ත චරිත වැඩ කළේ කියලා. ඒ වගේ දේවල්. ඒ වගේම එක් එක් රටවල්වල කණ්ඩායම නියෝජනය කළ කි‍්‍රකට් නායකයන් එක්ක එකම තලයක එකට ඉඳගන්නත් මට අවස්ථාවන් ලැබුණා. ශ්‍රේෂ්ඨයන් විදිහට සුපිරි තරු විදිහට හිටපු එයාලා එක්ක වාද විවාද කරන්න එයාලගේ මතවලට එකඟවීම් හෝ එකඟ නොවීම්...මගේ මතයට එයාලා අවනතවීම්..ඒ වගේ දේවල්..බොහෝ අත්දැකීම්.


එක්ව වැඩ කරන්න කැමැති විස්තර විචාරකයා කවුරුන්ද ?

මට වැඩිපුර ඉඩක් ලබානොදුන්නු  විස්තර විචාරකයන් කිහිපදෙනෙක් සමග වැඩ කරලා අත්දැකීම් තිබෙනවා. එයාලා කැමැතියි වැඩිපුර කතා කරන්න. එයාලා කැමැතියි අන්තිම වචනය පවා කියන්න.  

සමහර වෙලාවට නරඹන්නෙක් වගේ වෙලා පොඩි වැඩ කොටසක් තමයි කරන්න සිද්ධවුණේ. ඉතින් එවැනි විස්තර විචාරකයෝ ඉන්නවා. එයාලා එක්ක වැඩ කිරීමෙන් සතුටක් ලැබෙන්නේ නෑ. මොකද එතැන ඉඳගත්තම..මට තවම මතකයි ටෝනි ග්‍රෙග්. ජීවිතයෙන් සමුගත් ටෝනි ග්‍රෙග්.

මම වැඩියෙන්ම ගෞරවය කරන කෙනෙක්. ඔහු මට එක අවවාදයක් දුන්නා. ඔහු කිව්වා ඔබ විස්තර විචාරය පටන් ගත්තම...ඔබ එතැන ඉඳගත්තම..මං මේ කියන්නේ ඔහුගේම වචනවලින් එතැන ඉඳගත්තම ඔබ හිතන්න ඔබ දැන් ඉන්නේ අවන්හලක කියලා. අවන්හලක ස්ටූලයක් මත කියලා. ඔබේ මිතුරෙක් සමග. ඔබේ සගයෙක් සමග. මධුවිත තොලගාන ගමක් සතුටු සාමිචියේ යෙදෙනවා කියලා.

අන්න ඒකට තමයි ඔබ හරියටම විස්තර විචාරක යෙදෙද්දී හැඩ ගැසිය යුත්තේ කියලා.

මට ගොඩාක් මිනිස්සු මුණගැහිලා තියෙනවා. සුනිල් ගවස්කර්, ටෝනි ග්‍රෙග්, රමීස් ඒ වගේ ලොකු ලැයිස්තුවක්.. මට නම් පවා අමතක වෙන තරම්. ඒ වගේ අය එක්ක විස්තර විචාරයේ යෙදීමට ලැබීම සතුටක් ගෙන දෙන්නක්. සමහරවිට කැම්මැලිකමක් දැනුණු, අපහසුතා දැනුණු අවස්ථාවලූත්  මගේ විචාරක ජීවිතයේ තියෙනවා. නමුත් ඒවා හරි අඩුයි. ඇත්තටම හරි අඩුයි.


ඔබ ළහිරු තිරිමාන්න වෙනුවෙන ගොඩාක් කතා කරනවා නේද ?

ළහිරු තිරිමාන්න කියන්නේ තරුණ කී‍්‍රඩකයෙක්. තවම තරුණවියේ පසුවන කී‍්‍රඩකයෙක්. ඔහු මගේ කි‍්‍රකට් සමාජයට බැඳුණේ අවුරුදු 15 දී පමණ. එයාව අපේ කි‍්‍රකට් සමාජයට හඳුන්වලා දුන්නේ එයාගේ මාමා විරාජ් තිරිමාන්න. එයා ළහිරුටයි එයාගේ සොයුරු තුළනිතුටයි ලොකු අත්වැලක් සැපයූවේ. මොකද එයාලගේ තාත්තා නෑ. ළහිරු රාගම කි‍්‍රකට් කණ්ඩායමට එක්වුණාට පස්සේ ඔහු නිරායාසයෙන්ම තහවුරු කළා. අපි ඔහු වෙතින් දැකපු දේවල්. අපේ කී‍්‍රඩා සමාජයකට කී‍්‍රඩා කරද්දී ඔහු ලොකු ගමනක් ඉදිරියට යාවි කියලා හොඳින්ම දැනුණා.

මම විශ්වාස කරනවා. මම ප‍්‍රසිද්ධියේම කියලා තියෙනවා මට ඒ ගැන ප‍්‍රශ්නයකුත් නෑ. මම ඒ ගැන ලියලත් තියෙනවා අපේ කි‍්‍රකට් වල අපේ පිතිහරඹය තුළ තාක්ෂණ ගැටලූවලට වඩා ඔබ්බට ගිය දේවල් තියෙනවා කියලා. මම දන්නේ නෑ ඒක තාක්ෂණික ගැටළුවක් ද කියලා. නමුත් මගේ තර්කය ඒකයි.

හරි..අපි ඒ සමීකරණයෙන් ළහිරුව අයින් කරමු.
ඇන්ජලෝ මැතිව්ස්ව අයින් කළොත් මොකද වෙන්නේ බලමු. මට කියන්න ලකුණු රැස් කරන්න ඉන්න එක පිතිකරුවෙක්. එක පිතිකරුවෙක්.  එයා හොඳයි නේද කියන්න පුලූවන් තරමේ සැකයක් ඇති කරන කෙනෙක්. එහෙම කවුරුවත් නෑ.

නමුත් කවදාහරි විශිෂ්ඨත්වයට පත්වීමේ හැකියාව ඇති දෙන්නෙක් කියලා මං හිතන දෙන්නා තමයි ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල්. මම අෂාන් පි‍්‍රයංජන ගැනත් ගොඩාක් හිතුවා. නමුත් අවාසනාවකට ඔහු මගදි කඩා වැටුණා. නමුත් මට තවමත් හිතෙන්නේ ඔහුට නැවත නැගී සිටිය හැකියි කියලයි.

බලන්න චන්දිමාල් ආරම්භ කළ විදිහ ගැන. ඔහු ලෝඞ්ස් පිටියේ ශතකයක් ලැබුවා.

ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය අත්කරගත්තු ඒ තරගයේදී ඔහු කී‍්‍රඩා කළ විදිහට හැමෝගෙම හිතට කා වැදුණා. ඔබ ළහිරුව අරන් බලන්න. ඔහු 2014 ආසියානු කුසලාන තරගමාලාවේ වීරයා වුණා. ඔහු ශ‍්‍රී ලංකාව ජයගත්තු විස්සයි20 ජාත්‍යන්තර තරගාවලියේ සෑහෙන දෙයක් කළා. ඔහු ඔස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ පැවැත්වුණු 2015 ලෝක කුසලාන තරගමාලාවේදී ලකුණු අතර හිටියා. ඊළඟට මම දැක්කා ඔහු සිඞ්නිවල දී ගුවන්යානයෙන් ගොඩ බහිනවා. ශී‍්‍ර ලංකාව පසුබහිද්දී එහි දී ඔහු ලකුණු 90ක් ලැබුවා.

අංක 3 ස්ථානයෙන් පිටියට ඇවිත් මිචෙල් ජොන්ස්න්, සිඞ්ල් සහ අනික් අයට එරෙහිව. මම ඔහු ගැන කියන්න උත්සාහ දරන්නේ මේ අය සාමාන්‍යය හෝ සාමාන්‍යය තරමට වඩා පහළින් සිටි අය නම් එයාලට එවැනි මට්ටමක දස්කම් දක්වන්න හැකිවෙන්නේ නෑ. දක්වන්නෙත් නෑ.

 ඉතින් ඔබට පෙනේවි එයාලා ඒ දේවල් කරලා තියෙනවා කියලා. පිතිකරුවකුගේ ජිවිතයේ තාවකාලික ඇද වැටීම් දකින්න ලැබෙනවා. නමුත් එයාලා ආපහු ඒක යථා තත්ත්වයට පත්කරගන්නවා. එයාලා එයාලගේ සාමාන්‍යය හොඳින් නඩත්තු කරනවා. නැතිනම් දස්කම් තවත් ඉදිරියට ගෙන යනවා.

නමුත් මගේ ප‍්‍රශ්නය ඇයි අපේ පිතිකරුවන්, විශේෂයෙන් මේ දෙන්නා, මේ විදිහට ඇද වැටෙන්නේ.

මම තිරිට ගොඩක් සහයෝගය දෙනවා මොකද එයා මගේ කී‍්‍රඩා සමාජයෙන් ආපු නිසා නමුත් මම තරුණ කී‍්‍රඩකයන්ට සහය පළ කරනවා මොකද එයාලගේ දස්කම් කිසිම සැකයක් නෑ. මම නිතරම විශ්වාස කරනවා එයාලා දස්කම් ඇති කී‍්‍රඩකයන් කියලා. මම සතුටුවෙනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයෙන් බිිහිවුණු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයෙක් වන අරවින්ද ද සිල්වා තිරි ගැන කියපු දේවල්වලට. මගේ අදහස අනුව ඒ කතාවෙන් ලොකු විවාද තර්ක විතර්ක ඇතිවුණා අනිත් අය අතර. අරවින්ද වගේ කෙනෙක් එහෙම කතාවක් කිව්වම. ඔහු කිව්වේ අපි තිරිට ඉඩදෙන්න  ඕනා කියලා.


එංගලන්ත සංචාරය ගැන මොනවාද හිතෙන්නේ ?

ඒක ඉතා අභියෝගාත්මක සංචාරයක්. ඒක ඉතා අසීරු සංචාරයක්. නමුත් මට උවමනා කරන්නේ ඒ ගැන සුබවාදී විදිහට හිතන්නයි. මට කියන්න  ඕනේ මේ සංචාරය වීරයෝ බිහිවිය හැකි සංචාරයක් කියලයි.

මේක ශී‍්‍ර ලංකාව ආපහු සුපුරුදු දස්කම් අතරට එන්න සටන් කරන සංචාරයක්. පළවැනි ටෙස්ට් තරගය හෙඩින්ග්ලිවල. ඒක පන්දුව හොඳට ගමන් කරන තණතීරුවක්. ඉංගී‍්‍රසි වේගපන්දු යවන්නන්ට කියාපු එකක්.

දෙවැනි ටෙස්ට් තරගය ඩරම්වල. ඒක හෙඩින්ග්ලි වගේම පිතිකරුවන්ට අයහපත් එකක් ආසියානු උපමහාද්වීපය එක්ක බලද්දී. හොඳටම පැහැදිලියි එංගලන්තයට සැලසුමක් තිබෙන බව. එයාලා උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව දුර්වල කරවන්නයි.

එයාලා උත්සාහ කරන්නේ පළමු හා දෙවැනි ටෙස්ට් තරගවලදී දරුණු ප‍්‍රහාරයක් එල්ල කරලා ඊළඟට ලෝඞ්ස් පිටියට අරන් ගිහිල්ලා පුලූවන් වුණොත් එහෙම පිටින්ම බිමට ඇද දමන්නයි. ඊළඟට ඒ වෙද්දී දුර්වල වෙලා කියලා හිතන ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින තරගාවලියට එකතු කරගන්නයි.

ඒ වෙද්දී දරුණු පසුබෑමකට ලක්වෙලා ඉන්න කණ්ඩායමක් විදිහට එයාලාව තවත් බිමට සමතලා කරදමන්නයි එංගලන්තයේ උත්සාහය වෙලා තියෙන්නේ. මේ කණ්ඩායම අත්දැකීම් අඩු කණ්ඩායමක්. එයාලා එංගලන්තයේ වැඩිපුර සෙල්ලම් කරලා නෑ. ඉතින් මේක අභියෝගයක් වේවි.

ඒත් අපේ වේගපන්දු යවන්නන් හොඳයි. අත්දැකීම් ඇති සංයෝගයක් තියෙනවා  පිතිකරුවන්ට වඩා. අනික් අතට පිතිකරුවන් ගැන කියනවානම්...ඇත්ත එයාලා දුෂ්කර අවස්ථාවක තමයි ඉන්නේ. ඒත් පිතිකරුවන් ගැන කියනවානම් මේක වීරයෝ බිහිවිය හැකි සංචාරයක්. එක්කෙනෙක්ට දෙන්නෙක්ට හැකියාව තියෙනවා ඉදිරියට ඇවිත් යමක් කරලා තරගයකින් දෙකකින් ශී‍්‍ර ලංකාව බේරාගන්න. ඒ විදිහට තමයි මං හිතන්නේ. එත් කලින් කිව්වා වගේ මේක ඉතාමත්ම අභියෝගාත්මක සංචාරයක්. අපි ඒක අවබෝධ කරගත යුතුයි. අපි පරාජයට පත්වුණොත් පුදුම වෙන්න කිසිම දෙයක් නෑ. නමුත් ශී‍්‍ර ලංකාවට පුලූවන් නම් ජය පරාජයෙන් තොරව ඉවර කරගන්න...එහෙම නැත්තම් ඉන් ඔබ්බට යන්න නිකමට කියනවානම් 1-0 කින් වගේ පරදින්න...මං හිතන්නේ ඒකත් එක්තරා විදිහක ජයග‍්‍රහණයක්.


ඔබේ වෘත්තිය සහ පවුලේ තොරතුරු....

මම අලෙවිකරණ වෘත්තිකයෙක්. මගේ ජීවිතය පුරාම මම කළේ අලෙවිකරණයි. ඒක මගේ වෘත්තීමය ජීවිතය. මේ මොහොතේ මම සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක්. ඒක ප‍්‍රමුඛතම විලවුන් ආලේපන අලෙවිකරණ සමාගමක්. ඒක තමයි රස්සාව හැටියට මම කරන්නේ.

මගේ බිරිඳ කි‍්‍රෂාන්ති. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට වයස 25ක් වෙනවා. එයා වෛද්‍ය සිසුවෙක්. මගේ දුව නීති සිසුවියක්. සැබැවින්ම එයා නීති උපාධිධාරිනියක්. බාල පුතා ව්‍යාපාරික පරිපාලනයට එකතුවෙන්නයි ඉන්නේ. එයා දැනට ව්‍යාපාර උපාධි පාඨමාලාවක් හදෑරිමට සූදානමිනුයි ඉන්නේ.

 

කි‍්‍රකට්, ව්‍යාපාරය සහ පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන යාම...


මගේ ආයතනයට ඉතා හොඳ කාර්ය මණ්ඩලයක් ලැබීමට තරම් මම භාග්‍යවන්තයි.

ඉතා කාර්යක්ෂමව එයාලා වැඩ කටයුතු කරනවා. ඉතින් ආයතනයේ කටයුතු හොඳින් කෙරීගෙන යන බව දන්න නිසා මට මාස 6ක් පමණ වුණත් ඉන් පිටත ගත කරන්න හැකියාව තිබෙනවා. එහෙම සිද්ධවෙලත් තියෙනවා.

වතාවක් කි‍්‍රකට් කී‍්‍රඩාව මාව රැකියාවෙන් ඉවතට රැගෙන ගියා. මට සම්පූර්ණයෙන්ම වාගේ දින 130ක් පමණ...දින 100ක් 130ක් අතර කාලයක් විදෙස් රටවල හා දේශීය කි‍්‍රකට් පිටියේ ගත කිරීමට සිදුවුණා. ඒක සම්පූර්ණයෙන්ම වාගේ බැලූවොත් වසරකට 3 න් එකක වගේ කාලයක්. ඒ කාලයේ වුණත් හැමදේම හොඳින් කෙරුණා.

පවුලේ කටයුතු වුණත්. මගේ බිරිඳ මට විශාල ශක්තියක්. ඇය ගෙදරදොරේ වැඩ කටයුතු ඉතා හොඳින් කෙරෙන බවට සහතික කළා. දරුවන්ගේ වැඩ කටයුතු ගැන සොයා බලමින්. ඒක පහසු දෙයක් නෙවෙයි. ඒක හරි අසීරු අභියෝගයක්.

විශේෂයෙන් පවුලේ අයට. මොකද මම මුළුමනින්ම එයාලා අතරේ නෑ. මට ගොඩාක් උපන්දින මග හැරිලා තිබෙනවා. සංවත්සර ගණනාවක් මග හැරිලා තිබෙනවා. විවාහ මංගලෝත්සව ගණනාවක්ම මග හැරිලා තිබෙනවා.

නමුත් ඒකේ අනිත් පැත්ත ගත්තම අපි කරන දේවල්වලින් අපිට උපරිම සතුටට පත්වෙන්න අවස්ථාව ලැබෙනවා.  මොනවහරි  පී‍්‍රතිමත් මතක සටහන් එකතු කරගන්න කී‍්‍රඩාවට සමීපවූණාම තමයි එවැනි අවස්ථාව ලැබෙන්නේ. පස්සේ අපිට ඒවා නරඹලා සතුටු වෙන්න පුලූවනි. ඒකේ අනිත් පැත්ත තරමක් පවුලේ අයගෙන් ඈත්වෙලා ඉන්න සිද්ධවෙනවා. ඉතින් ඒක හරියට සමබර කරගන්න සිද්ධවෙනවා.

මේ දක්වා මට ඒක හසුරුවා ගන්න හැකිවුණා.

 


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.