TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මොහොමඞ් අමීර් නින්දෙන් අවදිවෙයි

සැකසුම : මොහාන් ප්‍රනාන්දු Views 3292 22 June 2016 01:25

ක්‍රිකට් තරග පාවාදෙන්නවුන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනැවිය යුතු යයි මොහොමඞ් අමීර් කියයි.
එසේ කියන මොහොමඞ් අමීර් අන් කවරෙකු හෝ නොව, වසර 2010 දී කූප්‍රකට තරග පාවාදීමකට වැරැදිකරුවකු වී වසර 5 ක තරග තහනමකට සහ සිර දඬුවමකට යටත්ව සිටි පකිස්තානයේ වේගපන්දු යවන්නාමය.


එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් යළි ටෙස්ට් ක්‍රිකට් පිටියට අවතීර්ණවීමට බලා සිටින අමීර් මෙසේ කීවේ තරග පාවාදෙන්නවුන් ක්‍රීඩාවේ නාමයෙන් එළියට ඇද දැමිය යුතු බවට එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක් ඊයේ පෙරේදා කළ ප්‍රකාශයකට සහය පළ කරමිනි.


“තරග පාවාදීම් තවමත් සිද්ධවෙනවානම් එය අනතුරුදායකයි” ආමීර් එසේ කීවේ ටෙස්ට් තරග 4 කින් සමන්විත එංගලන්ත සංචාරයට පිටත්වයාමට පෙර පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.


“තරග පාවාදෙන්නවුන්  ජීවිතාන්තය දක්වා තහනම් කළ යුතුබවට පළවෙන මතයට මම සම්පූර්ණයෙන්ම එකඟයි” යයි කීවද එංගලන්තයේ ටැබ්ලොයිඞ් පුවත්පතකින් විස්තර ඇතුව හෙළිදරවු කරන ලද ආමීර්ගේ නිපන්දු යැවීම සිදුවූ ලෝඞ්ස් පිටියේ දීම නැවත ටෙස්ට් ක්‍රිකට් ක්ෂේත්‍රයට එක්වන 24 හැවිරිදි මේ වමත් වේගපන්දු යවන්නාට එහි දී සතුටුදායක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.


සිය තරග තහනම නිමාවට පත්වීමෙන් පසුව පසුගිය ජනවාරියේ යළි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අමීර්ට එරෙහිව ක්‍රීඩා කිරීම පිළිබඳ තමාට කිසිදු ගැටළුවක් නොමැති බව එංගලන්ත ටෙස්ට් නායක ඇලිස්ටෙයාර් කුක් මීට පෙර කියා තිබිණි.


අමීර් සහ ඔහුගේ නව පන්දුවේ සහකරු මොහමඞ් අසීෆ් එදා නිපන්දු යැව්වේ එවකට සිය නායකයාව සිටි සල්මාන් බට්ගේ උපදෙස් අනුවය. මේ තිදෙනාම වසර 5 ක තරග තහනමකට ලක්වූ අතර තරග පාවාදීමේ මහමොළකරු වූ මසාර් මජීද් සිරගත කෙරිණි.


සිය තහනම නිමාවට පත්වීමෙන් පසුව මෙතෙක් අන්තර්ජාතික එක්දින තරගවලට පමණක් ක්‍රීඩා කළ අමීර්ට යළි ටෙස්ට් පිටියේ දොරටුව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීම විවරවීමත් දෛවෝපගත කාරණාවකි.


“ඇත්තම කියනවානම් මම කවදාවත් හිතුවේ නෑ ආපහු ක්‍රීඩාවට එක්වෙන්න පුළුවන් වෙයි කියලා. ආපහු ටෙස්ට් ක්‍රිකට්වලට එන්න ලැබීම මගේ වාසනාවක්” ඔහු කීවේය.


“ටෙස්ට් ක්‍රිකට්වලට එන්න මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. මේක මට තවමත් විශ්වාස කරන්නත් බෑ....මේක දෛවෝපගත සිද්ධියක් හරි වෙන මොකක් හරි කියලා ඔයාලා බාගවිට කියාවි. ඒත් 2010 දී මගේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතුණු ලෝඞ්ස් පිටියෙන්ම ආපහු ටෙස්ට් ක්‍රීඩාවට එන්න ලැබීම මට නම් ආශිර්වාදයක්” යයි මොහොමඞ් අමීර් කියයි.


“මම නැවත අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පා තැබුවේ මීට මාස ගණනකට උඩදී වුණත් ඇත්තටම නියම ක්‍රිකට් ක්‍රීඩාව හැටියට සැලකෙන ටෙස්ට් ක්‍රිකට්වලට එන්න ලැබීම තමයි මගේ පුනරාගමනය කියලා මම හිතන්නේ” යයිද  අමීර් කීවේය.


“මම අතීත සිදුවීම් අමතක කරලාවත්, ඒවා මගේ හිතේ හොල්මන් කරන්නේ නෑ කියලවත් මම කියන්නෙ නෑ. ඒත් ඒ දිහා සුබවාදී විදිහට බලලා සාර්ථක අනාගතයකින් ඒ අතීතය වළලා දමන්නයි මගේ බලාපොරොත්තුව”
“ආපහු සැරයක් ලෝඞ්ස් පිටියේ ගෞරවනීය පුද්ගලයන්ගේ නාමපුවරුවේ මගේ නම ලියා තබන අන්දමේ දස්කම් පෙන්වන්නයි මට ඕන කරන්නේ” යයි අමීර් කීවේය.


ඉනිමකින් සහ ලකුණු 225 කින් එංගලන්තයට පරාජය වූ ඒ තරගයේ දී සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ අමීර් ලකුණු 84 කට කඩුලු 6 ක් දවා ගැනීමෙන් පසුව ලෝඞ්ස් පිටියේ ගෞරවනීය ක්‍රීඩකයන්ගේ නාමපුවරුවට එක්විය.


එළැඹෙන ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩාංගණය තුලදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගෙන්ද, ඉන් පිටත දී එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ද අඩුවැඩි නොමැතිව එල්ලවිය හැකි ගර්භාවට මුහුණදීමට තමා දැනටමත් සූදානම් බවත් ආමීර් කීවේය.


“ක්‍රිකට් පිටියේදී ප්‍රතිවාදීන්ගෙන් ඇනුම්පද එල්ලවීම ක්‍රීඩාවේ කොටසක්. ඒ වගේම ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් මම ඒ ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ. මම හිතන්නේ මගේ දස්කම් ගැන විතරයි”


අවසන් වතාවට 2010 දී ලෝඞ්ස් පිටියේ ක්‍රීඩා කළ කාලයට වඩා තමා දැන් බෙහෙවින් ශක්තිමත් බවත් පවසන අමීර් “එතකොට මං ගොඩාක් පොඩියි” කීවේ තමන් වරදට පෙළඹුනේ නොදන්නා කම නිසා යන්න නොකියා කියමිනි.

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.