TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පිතිකරුවන්ගේ අතපසුවීමට අස්වැසිල්ලක්

. Views 6255 26 June 2016 18:35

මැද පෙළ පිතිකරුවන් තිදෙනකුම අර්ධ ශතක ලබාගත් නමුත් දිගු ඉනිමක් කරා යාමට කිසිවකු අසමත් වීම හේතුවෙන් එංගලන්තයට එරෙහිව බි්‍රස්ටල්හිදී අද (26 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේ ඕවර 50 ක් නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 248 ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතපසුවීම හානියක් වන්නට ඉඩ නොදුන් වර්ෂාවේ මැදිහත් වීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා -  ඇ. බට්ලර් ප. ප්ලන්කට්  9
ධනුෂ්ක ගුණතිලක - ප. විලී  1
කුසල් මෙන්ඩිස් - ඇ. හේල්ස් ප. ප්ලන්කට් 53
දිනේෂ් චන්දිමාල් - ඇ. ජෝර්ඩ්න් ප. වෝක්ස්  62
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. බට්ලර් ප. ජෝර්ඩ්න්   56
සීකුගේ ප්‍රසන්න - ඇ. බෙයාර්ස්ටෝ ප. ප්ලන්කට් 2
උපුල් තරංග - ප. වෝක්ස්  41
දසුන් ශානක - දුවද්දී දැවී ගියා   2
ෆර්වීස් මහරුෆ් - ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 9
සුරංග ලක්මාල් - නොදැවී  3
නුවන් ප්‍රදීප් - නොදැවී 2
අතිරේක (පා-4, ව-5) 9
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක්  දැවී  248
කඩුලු වැටීම 
1-3 (ගුණතිලක), 2-32 (පෙරේරා), 3-88 (මෙන්ඩිස්), 4-168 (චන්දිමාල්), 5- 171 (ප්‍රසන්න), 6-209 (මැතිව්ස්), 7-215 (ශානක), 8-242 (ෆර්වීස් මහරුෆ්), 9-242 (තරංග)
පන්දු යැවීම
ඩේවිඩ් විලී  10-0-55-1 ව-1
ක්‍රිස් වෝක්ස් 10-1-34-3 ව-1
ලයාම් ප්ලන්කට් 10-0-46-3 ව-1
ක්‍රිස් ජෝර්ඩ්න් 10-0-49-1 ව-2
අදීල් රෂීඞ්  10-0-60-0  
එංගලන්තය 
ජේසන් රෝයි - නොදැවී  5
ඇලෙක්ස් හේල්ස් -  ඇ. චන්දිමාල් ප. ලක්මාල්  0
ජෝ රූට් - නොදැවී 11
අතිරේක 0
එකතුව ඕවර 4 කදී  කඩුලු 1 ක් දැවී 16
කඩුලු වැටීම 
1-1 (හේල්ස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඔයින් මෝගන්, ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, ලයාම් ප්ලන්කට්, ක්‍රිස් ජෝර්ඞ්න් සහ අදිල් රශීඞ්
පන්දු යැවීම
සුරංග ලක්මාල් 2-0-8-1  
ඇන්ජලෝ මැතිව්ස්  2-0-8-0  
එංගලන්ත ඉනිම ආරම්භ වීම වර්ෂාව නිසා ප්‍රමාද වූවත් පස්වරු 3.40 ට තරගය ආරම්භ කිරීමෙන් පසුව යැවිය හැකිවූයේ ඕවර 4 ක් පමණි.

පළමු ඕවරයේදීම සුරංග ලක්මාල් හමුවේ දිනේෂ් චන්දිමාල්ට උඩපන්දුවක් දෙමින් ඇලෙක්ස් හේල්ස් ලකුණු නොලබා දැවී ගියේය. ඕවර 4 කදී නැවතත් වර්ෂාව ඇතිවන විට එංගලන්ත පිල කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටි අතර නැවතත් තරගය ආරම්භ කළ නොහැකි විය.
 
දෙවැනි එක්දින තරගය ජයගත් එංගලන්තය මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 32 ක් තුළදී ක්‍රීඩාගාරයට ආපසු ගොස් සිටි හෙයින් ශ්‍රී ලංකා පිලේ ආරම්භය බෙහෙවින් මන්දගාමී විය. එවන් තත්ත්වයක් තිබියදී කුසල් මෙන්ඩිස් (53) සහ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව කළ ධෛර්යවත් පිතිහරඹයත් අංක 7 පිතිකරුවා වශයෙන් පැමිණි උපුල් තරංගගේ සටන්කාමී ලකුණු 40 ත් නිසා ශ්‍රී ලංකා පිල ලකුණු 250 සීමාව අසන්නට පැමිණියේ පන්දු යවන්නන්ට කිසියම් බලාපොරොත්තුවක් ඇතිකරමිනි.

කුසල් මෙන්ඩිස් (53), දිනේෂ් චන්දිමාල් (62) සහ ඇන්ජලෝ මැතිව්ස් (56) තිදෙනාම දැවී ගියේ 3, 4 සහ 6 වැනි කඩුලු අතර සම්බන්ධතා 55 ක්, 80 ක් සහ 38 ක් ව තිබියදීය. සම්බන්ධතාව ක්‍රමයෙන් දිගහැරෙන විටම පිතිකරුවකු දැවීයාම හේතුවෙන් පිටියට පිවිසෙන පිතිකරුවාට සියල්ලම අලුතෙන් ආරම්භ කිරීමට සිදුවිය.

සීකුගේ ප්‍රසන්න අංක 6 පිතිකරුවා ලෙසින් පැමිණියද බවුන්සර් පන්දු වලින් ඔහුට උගුල ඇටවීමට එංගලන්ත පන්දු යවන්නන් උපායශීලී වූ බැවින් සීකුගේ නැවතත් අසාර්ථක විය.

ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ට සිය කඩුලු රැකගැනීමට ඉඩහරිමින් නිර්භයව ලකුණු සොයා ගිය 21 හැවිරිදි කුසල් මෙන්ඩිස් ප්‍රධාන පෙළේ කණ්ඩායමකට එරෙහිව සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත්තේය.

අයර්ලන්තයට එරෙහිව පැවැති සිය මංගල එක්දින තරගයේදීත් අර්ධ ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් ටෙස්ට් මට්ටමේ පන්දු යවන්නන් පිරිසක් හමුවේ ලබාගත් පළමු වැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් කළ අතර ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට පුල් පහරක් ගැසීමට යාමේදී හතරේ සීමාව අසළ සිටි ඇලෙක්ස් හේල්ස්ට උඩපන්දුවක් ලැබීමෙන් දැවී ගියේය.

කුසල් පෙරේරා සිටියේ තමන්ට රිසි සේ ලකුණු ලබාගත නොහැකි වීමේ අසහනයෙනි. මුහුණ දුන් 22 වැනි පන්දුවට ගැසූ වේගවත් පහරකින් ඇදී ගිය උඩපන්දුවක් පන්දු යැවූ ක්‍රිස් වෝක්ස්ගේ දෑතින් ලෙස්සා යන විට ඔහු ලබා සිටියේ ලකුණු 9 ක් පමණි. ලද වාසනාවෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි වූ වමත් පිතිකරුවා ඊළඟ ඕවරයේදී ලයාම් ප්ලන්කට් හමුවේ ගැසූ පහරකින් පන්දුව එකතැන ඉහළ ගොස් පැමිණ ජොස් බට්ලර්ගේ අත් ආවරණ අතර සැඟවී ගියේය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ඬේවිඞ් විලීගේ පන්දුවකට නිදැල්ලේ යාමට අවසර දුන් ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ලට පන්දුව කඩාවැදීමෙන් ඔහුගේ ඉනිම ලකුණකට පමණක් සීමා විය.

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.