TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ජේසන් එංගලන්තයේ ජය මාවත සකසයි

. Views 6769 30 June 2016 01:57

පිතිකරුවන්ගේ පරාදීසයක් වූ තණතීරුවක ජේසන් රෝයි කළ අති විශිෂ්ට පිතිහරඹය නිසා කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත  පිතිකරුවෝ ලන්ඩන් ඕවල් පිටියේදී අද (29 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 6 ක ජයක් අත්කරගත්හ.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා -  දුවද්දී දැවී ගියා  1
ධනුෂ්ක ගුණතිලක - ඇ. අලි ප. රෂිඩ්  62
කුසල් මෙන්ඩිස් - ඇ. ප්ලන්කට් ප. රෂිඩ්  77
දිනේෂ් චන්දිමාල් - ප. විලි 63
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී  67
සීකුගේ ප්‍රසන්න - ප. විලි  9
දසුන් ශානක - නොදැවී 19
අතිරේක (පා-2, ව-5) 7
එකතුව ඕවර 42 කදී කඩුලු 5 ක්  දැවී  305
කඩුලු වැටීම 
1-8 (පෙරේරා), 2-136 (මෙන්ඩිස්), 3-158 (ගුණතිලක), 4-245 (චන්දිමාල්), 5-259 (ප්‍රසන්න)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
උපුල් තරංග, ෆර්වීස් මහරුෆ්,  නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්
පන්දු යැවීම
ඩේවිඩ් විලී  8-0-58-2 ව-1
ක්‍රිස් වෝක්ස් 9-0-65-0 ව-2
ලයාම් ප්ලන්කට් 8-0-65-0 ව-2
අදීල් රෂීඞ්  9-0-57-2  
මුයින් අලී 8-0-58-0  
එංගලන්තය 
ජේසන් රෝයි - ප. ප්‍රදීප්   162
මුයින් අලී - ඇ. චන්දිමාල් ප. ප්‍රදීප්  2
ජෝ රූට් - ඇ. ප්‍රදීප් ප. ගුණතිලක  65
ඔයින් මෝගන් - ඇ. ගුණතිලක ප. ලක්මාල්  22
ජොනී බෙයාර්ස්ටෝ - නොදැවී  29
ජොස් බට්ලර්  - නොදැවී  17
අතිරේක (පා-5, ව-7) 12
එකතුව ඕවර 40.1 කදී  කඩුලු 4 ක් දැවී 309
කඩුලු වැටීම 
1-18 (අලි), 2-167 (රූට්), 3-221 (මෝගන්), 4- 281 (රෝයි)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට්
පන්දු යැවීම
සුරංග ලක්මාල්  7-0-48-1  
නුවන් ප්‍රදීප්  9-0-78-2 ව-2
ඇන්ජලෝ මැතිව්ස්  3-0-17-0  
ෆර්වීස් මහරුෆ් 8-0-58-0 ව-1
දසුන් ශානක 1-0-12-0  
සීකුගේ ප්‍රසන්න 7.1-0-61-0 ව-4
ධනුෂ්ක ගුණතිලක  5-0-30-1  
ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඕවර 42 කදී ලකුණු 308 ක් ලබාගත යුතුවූ එංගලන්ත පිල පන්දු 11 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය සපුරා ගනිමින් දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගාවලියද ජයගත්තේය.

තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරගයේදී දෙපිලම සම ලකුණු ලබාගත් නමුත් දෙවැනි තරගය ජයගත් එංගලන්ත පිල 1-0 ක් ලෙසින් පෙරමුණේ සිටියේය. තුන්වැනි තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් එක්දින තරගාවලිය ජයගැනීමට නම් එංගලන්තයට අද පැවැති තරගය ජයගැනීම ප්‍රමාණවත් විය.

තරගාවලියේ දෙවැනි ශතකයත් ලබාගත් ජේසන් රෝයි පන්දු 118 කට මුහුණ දීමෙන් පසුව අගනා වාර්තාවක් අත පොවන මානයේ තිබියදීම නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. තවත් ලකුණු 6 ක් ලබාගත්තේ නම් එක්දින අන්තර්ජාතික තරගයකදී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් රොබින් ස්මිත්ගේ (1993 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 163) වාර්තාව සතුකරගැනීමේ අවස්ථාව ජේසන් රෝයිට තිබිණ.

ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි රෝයි ඕවර 37.5 කට පසුව දැවී යන විට ලකුණු 281 ක් පුවරුවට එක්ව තිබූ අතර රෝයිගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

මුල් කඩුල්ල ලකුණු 18 ක් ව තිබියදී බිඳ වැටුණ නමුත් ලකුණු වේගය ක්‍රම ක්‍රමයෙන් වැඩිකරගත් ජේසන් රෝයි සහ ජෝ රූට් (65) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 149 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු වේගය අපේක්‍ෂිත මට්ටමට ඔසවා ගත්හ. එතැන් පටන් තමන්ගේ ග්‍රහණය ළිහිල් නොකළ එංගලන්ත පිතිකරුවෝ කිසිදු අපහසුවකින් තොරවම ජයග්‍රහණය කරා පියමං කළහ.

කාසියේ වාසිය අහිමි වුවද ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ නියමිත ඕවර 42 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 306 ක් දක්වා ශ්‍රී ලංකා පිල ඔසවා තැබූවද පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ වැටිණ.

කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි කුසල් ජනිත් පෙරේරා දුවද්දී දැවී ගියද කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 119 ක සම්බන්ධතාව නිසා හිස එසවූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව නිසා තරගය නතර කිරීමට පෙර ඕවර 18.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලබා සිටියේය.

වර්ෂාව නිසා පැය දෙකක පමණ කාලයක් අපතේ ගිය නමුත් වර්ෂාව නිසා තරගයට අහිමි වූයේ ඕවර 8 ක් පමණි. ඉනිම අතර විවේකය විනාඩි 10 කට කෙටිකළ තරග තීරක ඬේවිඞ් බූන් මහතා ඕවර 42 ක තරගයක් කරා යන්න’යි විනිසුරුවරුන්ට නියම කළේය.

වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසු පන්දු 17 ක් ඇතුළතදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාම දැවී ගිය නමුත් ලකුණු වේගය පහළ වැටීමෙන් වළක්වාගත් දිනේෂ් චන්දිමාල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා ලකුණු 300 සීමාවට කණ්ඩායම කැඳවාගෙන ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාළතම ක්‍රීඩකයා වන කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය නිසා තමන් වෙත එල්ලවන පීඩනය හමුවේ එංගලන්ත පන්දු යවන්නන් තව තවත් අසීරුතාවට පත්වූ බවක් දක්නට තිබිණ. මනස්කාන්ත ‘ඕන් ඩ්‍රයිව්’ පහර කිහිපයකින් සහ චිත්තාකර්ශනීය කවර් ඩ්‍රයිව් පහර වලින් මෙන්ම ‘කට්’ පහර වලින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වී තිබිණ.

කුසල්ගේ කවර් ඩ්‍රයිව් පහරකින් ඉහළින් ඇදී ගිය පන්දුව වෙත පැන්න ලයාම් ප්ලන්කට් ඉතා විශිෂ්ට ගනයේ උඩපන්දුවක් රැකගත් හෙයින් පොඩි කුසල්ගේ ඉනිම ලකුණු 77 කට සීමා විය. එයින් පන්දු 22 කට පසුව ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් වූවත් ඒ අතර කාලයේදී ලකුණු 22 ක් ශ්‍රී ලංකා පිලට එක්ව තිබිණ.

ඉනිම ආරම්භයේදී තරමක් ප්‍රවේසමෙන් ලකුණු ලබාගත් ධනුෂ්ක ගුණතිලක කුසල්ගේ පිතිහරඹයෙන් ධෛර්යය ලබා පසුව සිය ලකුණු වේගය වැඩිකරගනිමින් හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. මුයින් අලී රැකගත් උඩපන්දුවක් හමුවේ ගුණතිලක පිටියෙන් ඉවත් වන විට පන්දු 64 කින් ලකුණු 62 ක් ලබා සිටියේය.

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.