TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඉන්දීය පිතිකරුවෝ දඩබිමට පිවිසෙති

ඇන්ටිගුවා (රොයිටර්) Views 4567 20 July 2016 20:48

වසර ගණනාවක් පුරා මවුබිමේදී පෙන්වූ දස්කම් මත රඳා තිබූ ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එතැනින් ඉහළට ඔසවා තැබීමේ වගකීම නව පුහුණුකරු අනිල් කුම්බල් මහතා විසින් බාරගනු ලැබ ඇත. කුම්බ්ල් මහතා පවසන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාංගණ වල තත්ත්වයන්ට හුරුවීම ඉන්දීය ක්‍රීඩකයන්ට එතරම් අසීරු නොවන බවයි.

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (21 වැනිදා) ඇන්ටිගුවා හිදී ආරම්භ වේ.

වසර 2011 දී ඉන්දීය පිලේ කොදෙව් සංචාරයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉන්දීය පිල 1-0 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය. එහෙත් එතැන් සිට මේ දක්වා ඉන්දීය පිල ආසියානු කලාපයෙන් පිටත පැවැති තරගාවලි 6 ක් එක දිගට පරාජය වී තිබේ. එහි තරග වාර්තාව වන්නේ තරග 20 කින් තරග 15 ක් පරාජය වූ සැටියකි.

කෙසේ වෙතත් පසුගිය වසරෙදී ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 කින් ජයගැනීම මෙම වාර්තාවට ඇතුළත් කර නැත්තේ එය ආසියානු කලාපයේදී පැවැති තරගාවලියක් බැවිනි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය පිල මේ වන විට ඕස්ටේ්‍රලියාවට පමණක් දෙවැනි වී සිටී.

කණ්ඩායමේ විනය පිළිබඳ දැඩි පිළිවෙතක් අනුගමනය කරන නව පුහුණුකරු පමාවී පැමිණෙන සෑම දෙනාටම ඩොලර් 50 ක දඩයක් නියම කර තිබේ.

අනිල් කුම්බල් මහතාට සිය පළමු තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලම ලැබී තිබීම විශාල සහනයකි. කොදෙව් පිලේ පවතින පරිපාලනමය ප්‍රශ්න සහ ඇතැම් ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රිකට් තරග වලින් ඉවත්වී සිටීම නිසා කොදෙව් පිල බෙහෙවින් දුර්වල වී සිටී. වේග පන්දු යවන ක්‍රීඩක ජෙරම් ටේලර්ද මෑතකදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ සීමිත ඕවර තරග සහ විස්සයි:20 තරග කෙරේ වැඩි උනන්දුවක් දැක්වීමේ අදහසනි.

මෙම තත්ත්වය අනුව ඉන්දීය පිතිකරුවන් මේ පිවිසෙන්නේ පහසුවෙන් දඩයම් සොයගත හැකි දඩබිමකටය.
වසර 4 ක් ඇතුළත විස්සයි:20 ලෝක කුසලානය දෙවරක්ම (2012 සහ 2016) දිනාගත් නමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව කොදෙව් පිල සිටින්නේ 9 වැනි ස්ථානයේය.

එහෙත් විස්සයි:20 ලෝක කුසලාන අවසන් මහ තරගයේ අවසන් පන්දු 4 දී පිට පිටම හයේ පහර 4 කින් ක්‍රිස් වෝක්ස්ට සංග්‍රහ කරමින් කොදෙව් පිලට ලෝක කුසලානය දිනා දුන් කාලෝස් බ්‍රැත්වෙයිට් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් ඉවසිලිවන්ත විය යුතු බවයි.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන් වශයෙන් අපි වැඩි කාලයක් තණතීරුවේ ගතකරන්න ඕනෑ. මේ දවස්වල අපේ ක්‍රීඩකයන්ගේ කාමරයේ තියෙන එකම දේශනාව ඕක තමයි” යයි කාලෝස් බ්‍රැත්වෙයිට් කියයි.


කෙදෙව් - ඉන්දීය ටෙස්ට් තරගාවලිය

ජූලි 21-25     : පළමු ටෙස්ට් තරගය ඇන්ටිගුවාහිදී
ජූලි 30-අගෝ 3    : දෙවැනි ටෙස්ට් තරගය ජැමෙයිකාවේදී
අගෝ 9-13    : තුන්වැනි ටෙස්ට් තරගය ශාන්ත ලුසියාහිදී
අගෝ 18-22    : සිවුවැනි ටෙස්ට් තරගය ටි්‍රනිඩෑඞ්හිදී

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.