TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඉන්දියාව ඉනිමකින් ජයගනී

. Views 1536 25 July 2016 14:41

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 92 ක ජයක් අත්කරගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් විය. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 323 ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 231 කට සීමා කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් ප්‍රමුඛ ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ.

තරගයේ තෙවැනි දිනය (23 වැනිදා) අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා සිටි කොදෙව්වන්ට සිව්වැනි දිනයේදී සිය ලකුණු පුවරුවට අලුතින් එක් කරගත හැකිවූයේ ලකුණු 210 ක් පමණි.  

තම ටෙස්ට් දිවියේ දෙවැනි හොඳම පන්දුයැවීම වාර්තා කරමින් තරගයේ පාලනය සියතට ගත් රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 87 කට කඩුලු 7 ක් දවාගනිමින් කොදෙව් ඉනිම සුණුවිසුණු කර දැමුවේය.

කොදෙව් දෙවැනි ඉනිමේදී අර්ධ ශකයක් ලබාගැනීමට මාලන් සැමුවෙල්ස් (50) සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය. රාජේන්ද්‍ර චන්ද්‍රික (31) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සැමුවෙල්ස් සමත් විය.

කොදෙව් ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කාර්ලෝස් බ්‍රැත්වෙයිට් (නොදැවී 51) සහ දේවේන්ද්‍ර බිෂෝ (45) සමත් වුවද, ඉනිමක පරාජයෙන් ගැලවීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර දේවේන්ද්‍ර බිෂෝගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ලකුණු 113 ක් රැස්කරමින් සහ කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අෂ්වින් තරගයේ වීරයා බවට පත්විය.

කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමද ලකුණු 243 කට සීමා වූ අතර එහිදී ක්‍රෙග් බ්‍රැත්වෙයිට් (74) සහ ෂේන් ඩොව්රිච් (නොදැවී 57) අර්ධ ශතක ලබාගැනීමට සමත් වුහ. දක්ෂ පන්දුයැවීමක නරත වූ උමේෂ් යාදව් සහ මොහොමඞ් සාමි කඩුලු 4 බැගින් දවාගනිමින් කොදෙව් පළමු ඉනිම අඩපණ කළහ.

විරාට් කෝලිගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය (200) සහ රවිචන්ද්‍රන් අෂ්වින්ගේ තෙවැනි ටෙස්ට් ශතකය (113) හේතුවෙන් පළමු ඉනිම සඳහා ලකුණු 566 ක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.


ඉන්දියාව පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 566
(ශිකාර් ධවාන් 84, චෙටේෂ්වර් පුජාරා 16, විරාට් කෝලි 200, අජින්ක්‍යා රහනේ 22, රවිචන්ද්‍රන් අෂ්වින් 113, රිදිමන් සාහා 40, අමීත් මිෂ්රා 53, මොහොමඞ් සාමි නොදැවි 17, ක්‍රේග් බ්‍රැත්වෙයිට් 65/3, දේවේන්ද්‍ර බිෂෝ 163/3, ශැනොන් ගේබි්‍රයෙල් 65/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 243
(රාජේන්ද්‍ර චන්ද්‍රික 16, ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 74, රොස්ටන් චේස් 23, ෂේන් ඩොව්රිච් නොදැවී 57, ජේසන් හෝල්ඩර් 36, උමේෂ් යාදව් 41/4, මොහොමඞ් සාමි 66/4, අමීත් මිෂ්රා 4/2)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 231
(රාජේන්ද්‍ර චන්ද්‍රික 31, මාලන් සැමුවෙල්ස් 50, ජේසන් හෝල්ඩර් 16, කාර්ලෝස් බ්‍රැත්වෙයිට් නොදැවී 51, දේවේන්ද්‍ර බිෂෝ 45, රවිචන්ද්‍රන් අෂ්වින් 83/7)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.