TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඕස්ට්‍රේලියානුවන් අතරමං වෙලා - මැතිව්ස්

දමින්ද විජේසූරිය Views 7505 8 August 2016 17:04

ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නෝ සියලු දෙනාම පාහේ තුවාල ලබා සිටියහ. කණ්ඩායම සමග සිටි එකම වේග පන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප් පවා වෙහෙසට පත්ව සිටි අතර කොයි මොහොතේදී හෝ නුවන් කඩා වැටෙන බවත් සියලු දෙනාම දැන සිටියහ.

එවන් තත්ත්වයක් තිබියදී ලෝකයේ අංක 1 කණ්ඩායමට සමග ටෙස්ට් තරගාවලියකට යාම දැන දැන අතුරේ යාමකි. එහෙත් තරගාවලියෙන් පැන යා නොහැකි බවත් එන දේට මුහුණ දිය යුතු බවත් නායක අන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.

පිතිකරුවෝද ලකුණු අතර නොසිටියහ. මැතිව්ස්ට වෙනත් විකල්ප තිබුණේද නැත. පිහිටට හිටියේ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා සමග තරුණ ගැටවු කිහිප දෙනකු පමණි. සති දෙකක් ඇවෑමෙන් ඇන්ජලෝ මැතිව්ස් ජයග්‍රාහකයා වී සිටී. ඉතිහාසයේ දෙවැනි වතාවට, (වසර 17 කට පසුව) ඕස්ට්‍රේලියාව පරදවා ටෙස්ට් තරගාවලි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

අස්ගිරියේදී 1999 දී පැවැති තරගයේදී ස්ටීවන් වෝ සහ ජේසන් ගිලෙස්පි දෙදෙනා තුවාල ලැබීම හේතුවෙන් එම තරගයේ දෙවැනි ඉනිමේදී ඔවුන් දෙදෙනාම පන්දුවට පහර නොදුන් අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී පන්දු යැවීමටද නොපැමිණියහ.  පළමු තරගය ජයගැනීමෙන් පසුව ඉතිරි තරග දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට හිමිවිය.

මෙදා ලබාගත් ජයග්‍රහණය 1999 දී ලබාගත් ජයට වඩා බරසාර වන්නේ තරග දෙකේදීම ඕස්ට්‍රේලියානුවන්ගේ කඩුලු 40 ම බිම දමමින් මෙම තරගාවලි ජය ලබාගත් බැවිනි.

දිල්රුවන් පෙරේරා

ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ලකුණු 229 ක දැවැන්ත පරතරයකිනි. එය ආසියානු කණ්ඩායමක් හමුවේ ඕස්ට්‍රේලියානුවන් ලද තුන්වැනි විශාලතම පරාජය වූවා පමණක් නොව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානුවන් නිරුත්තර වූ ආකාරය ඇන්ජලෝ මැතිව්ස්ට පවා අදහාගත නොහැකි විය. ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ආ ගිය අත සොයාගත නොහැකි තත්ත්වයට පත්වී ඇතැයිද මැතිව්ස් කියයි.

“ඔවුන් හරියට අතරමං වෙලා වගේ. අපේ දඟ පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට ලකුණු ලබාගැනීම ඉතාමත් අසීරු වෙලා තිබුණේ”

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 15.05 ක සාමාන්‍යයක් රඳවා ගනිද්දී ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෝ කඩුල්ලක් දවාගැනීම සඳහා ලකුණු 36.85 ක් දුන්හ. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් ඕවරයකදී ලබාගත හැකිවූයේ ලකුණු 2.44 ක් පමණකි. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නකුගේ ඕවරයකින් ලකුණු 4.05 ක් සොරාගත්හ.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කෙතරම් අසරණ වූයේද යත් ටෙස්ට් තරග 15 කින් පසුව ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ට ඉතාමත් ආසන්න ටෙස්ට් සාමාන්‍යයක් (95.50) රඳවාගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඇඩම් වෝග්ස්ගේ ටෙස්ට් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ගාල්ලේ තරගය නිමා වන විට 23.75 ක් දක්වා පහළ වැටී තිබිණ.

“මගේ කණ්ඩායම මට ඉතාමත් හොඳ සහායයෝගයක් දුන්නා. ඒ වගේම අපට ඉතාමත් අගනා සහයෝගයක් දුන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂයෙන්ම තේරීම් කමිටුවටත් මගේ ස්තුතිය හිමිවෙනවා” යයි ගාල්ලේදී ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

“ඔවුන් (තේරීම් කමිටු නිලධාරීන්) කිව්වේ අපට ටිකක් ගුටිකන්න වෙයි. තරග දෙක තුනක් පරදින්නත් වෙයි. ඒත් අපි අපේ වැඩ හරියට කරගෙන ගියොත් අපි යන ගමනේදී අපට තරග කිහිපයක් දිනාගන්න පුළුවන්”
“ලෝකයේ අංක 1 කණ්ඩායම පරාජය කිරීම ඉතාමත් සැනසිලිදායක වගේම තෘප්තිමත් බවක් ගෙනෙන දෙයක්.

ඒ වගේම අපේ ප්‍රේක්‍ෂකයනුත් අපිත් එක්ක හිටියා. දිගින් දිගටම පරදින කොට තමන්ගේ මතයේ එල්ලිලා ඉන්න එක එච්චර පහසු දෙයක් නෙමේ. ඒත් ඔවුන් අපිත් එක්ක හිටියා. අපට සහයෝගය දුන්නා” යයි මැතිව්ස් පැවසුවේය.

ඕස්ට්‍රේලියානුවන් ‘හේරත් භීතිකාවෙන්’ පෙළෙමින් සිටියදී ඩිල්රුවන් පෙරේරා පැමිණ ඔවුන් උස්සා පොළොවේ ගැසීය. පළමු ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් ඩිල්රුවන්ගේ පිත්තෙන් පැමිණි ලකුණු 64 තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සවිමත් ආධාරකයක් විය. දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් දවාගත් ඩිල්රුවන් එකම ටෙස්ට් තරගයකදී අර්ධ ශතකයක් සමගින් කඩුලු 10 ක් දවාගත් මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසින්ද වාර්තා පොතට එක්විය.

ඩිල්රුවන් පෙරේරා ‘නිහඬ වීරයකු’ ලෙස හැඳින්වූ ඇන්ජලෝ මැතිව්ස් කීවේ ඉදිරියේදීත් ඔහුගෙන් ප්‍රයෝජන රැසක් ලබාගත හැකි බවයි.

“අපි රංගන ගැන ගොඩාක් කතා කරනවා. ඒත් ඩිල්රුවන් ගැන ඒ තරම් කතා කරන්නේ නෑ...ඒත් ඇත්තටම ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම ඉක්මනින් ටෙස්ට් කඩුලු 50 ක් දවාගත් පන්දු යවන්නා ඔහුයි”
“ඇත්තටම මුරලි අයියා ඉන්දැද්දී අපි රංගන ගැන එච්චර කතා කළේ නෑ වගේම තමයි. ඔහු නිහඬ වීරයෙක්” යයිද මැතිව්ස් පැවසීය.

ලකුණු 99 කට කඩුලු 10 ක් දවාගත් ඩිල්රුවන් පෙරේරා ඕස්ටේ්‍රලියානුවන් දමනය කළේ හුදෙක් පන්දුව දඟකැවීමෙන් පමණක් නොවේ. පන්දුව පිතිකරුවා වෙත පැමිණෙන කෝණයත් පන්දුවේ වේගයත් වෙනස් කරමින් නව පන්දුවෙන් කදිම ප්‍රයෝජන ගැනීමට ඩිල්රුවන් සමත් විය. පිට දඟ පන්දු යවන්නකුගේ පන්දුවක් වමත් පිතිකරුවකුගෙන් ඉවතට ඇදී යන නමුත් ඩිල්රුවන් විසින් ඉනිම දෙකේදීම උස්මන් කවාජා දවාගන්නා ලද්දේ පන්දුව පැමණෙන කෝණය වෙනස් කර පිතිකරුවා මුළා කරමිනි.

රංගන හේරත්
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානුවන් එසේ වල්මත් වූවත් තමන්ගේ පිතිහරඹය පිළිබඳව මැතිව්ස්ට පැහැදිළි අදහසක් තිබිණ. ගාල්ලේ ඉනිම දෙකේදී ලකුණු 101 ක් (පන්දු 130යි, හතරේ පහර 8යි, හයේ පහර 3යි) ලබාගත් මැතිව්ස් දෙවැනි ඉනිමේ සිය අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ ‘රිවර්ස් ස්වීප්’ පහරක් ගැසීමට යාමෙනි. එහෙත් ශ්‍රී ලංකා නායකයා ඒ පිළිබඳව කණගාටු වන්නෙක් නොවේ.

“ඒ වගේ අත්‍යන්ත තත්ත්වයන් යටතේ තරග කරන කොට නිකම් තට්ටු දම දමා ඉන්න බෑ. මොකද ඒ වගේ තත්ත්වයකදී කොහොම වුණත් දැවී යනවා. එක්කෝ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙනවා. නැත්නම් ෂෝට් ලෙග් වගේ තැනකට උඩපන්දුවක් යනවා... ඒ නිසා ලකුණු ලබාගන්නම ඕනා”

“එක්කෝ ‘ස්වීප්’ පහර නැත්නම් ‘රිවර්ස් ස්වීප්’ පහර ගහන්න ඕනෑ. ඇතැම් වෙලාවල වැරදි වෙන්න පුළුවන් තමයි. ඒත් ලකුණු ලබාගැනීමේ ක්‍රමයක් තියෙනවා. පන්දු යවන්නන්ට කරේ නගින්න නොදී තියාගන්න පුළුවන් වෙනවා” යයිද මැතිව්ස් පැවසීය.

නායක ස්ටීවන් ස්මිත්ගේම වදන් අනුව ගාල්ල ටෙස්ට් තරගය නිමා වන විට ඕස්ට්‍රේලියානු පිල දැඩි සේ ඇදවැටී සිටියේය.

“මේ දක්වා පැවැති තරගාවලිය ඉතාම අසීරු එකක්. ටෙස්ට් තරග දෙකේදීම අපව සම්පූර්ණයෙන්ම පරාජය කරනු ලැබුවා. මේ වෙලාවේ කණ්ඩායමේ මානසිකත්වය ඒ තරම් හොඳ නෑ”  

“ඉතාමත් හොඳ දඟ පන්දු යවන්නන් ඔවුන්ගේ කණ්ඩායමේ සිටිනවා. ඔවුන් පන්දුව දඟ කවනවා විතරක් නෙමේ පන්දුව වේගයෙන් කඩුල්ල තුළට කඩාවදින ලෙසත් යවන්න ඔවුන්ට පුළුවන්... අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දඟ කැවෙන්නේ නැති පන්දුවෙන් ආරක්‍ෂා වෙන්නයි. ඒත් ඒ සම්බන්ධයෙන් නම් අපේ දස්කම් ප්‍රමාණවත් මදි” යයි ඕස්ට්‍රේලියානු නායකයා පැවසීය.

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.