TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මුයින් අලීගෙන් මුක්කුවක්

. Views 1043 12 August 2016 12:51

පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ අනපේක්ෂිත ආක‍්‍රමණය හමුවේ බිඳ වැටෙමින් තිබුණු එංගලන්ත ඉනිමට මැද භාගයේදී මුක්කුවක්  ගැසූ මුයින් අලී ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (11 වැනිදා) ආරම්භ වූ සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී අගනා ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ගෞරවය රැක ගත්තේය. ඔහුගේ මේ ශතකය හේතුවෙන් ඊයේ දිනයේ අවසන් මොහොතේ එංගලන්තයේ පළමු ඉනිම නිමාවට පත්වූවත් ලකුණු 328ක් රැස් කිරීමට ඔවුහු සමත්වූහ.

ලකුණු 110 කට කඩුලූ 5 ක්ව තිබියදී පිටියට පිවිසි මුයින් අලී ලකුණු 9 දී සහ 15 දී දුන් උඩපන්දු පාකිස්තාන පන්දු රකින්නන් රැුකගත්තා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබිණි. ඒ උඩපන්දු දෙකම අතහැරියේ අසාර් අලීය.

ඉන් පසුව ජොනී බෙයාර්ස්ටෝ සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මුයින් අලී ශතකය වාර්තා කරනතුරු පිත්ත බිම තැබුවේ නැත. බෙයාර්ස්ටෝගේ දැවීයාමෙන් පසුව අලි සමග එක්වූ කි‍්‍රස් වෝක්ස් 7 වැනි කඩුල්ලට ලකුණු එකතු කරමින් එංගලන්ත කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය.

දෙපිල අතර එජ්බැස්ටන් නුවර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කොට නැවත මේ තරගයට කැඳවූ වහාබ් රියාස් ඊයේ දිනයේ එංගලන්ත පිතිකරුවන්ට වැඩිම භීතිකාවක් ගෙනදුන් පන්දු යවන්නා බවට පත්වූ අතර එංගලන්ත පිලේ මුල්පෙළ පිතිකරුවන්ගේ බිඳ වැටීමට මූලික හේතුව ඔහු විය. දිවා ආහාරයෙන් පසුව ගැරී බැලන්ස් දවා ගැනීමට පෙර ලකුණු අතරේ සිටින ජෝ රූට් සහ ජේම්ස් වින්ස් වහබ් රියාස් විසින් පන්දු 3 ක් ඇතුලතදී දවාගන්නා විට එංගලන්ත ලකුණු පුවරුව දිස්වූයේ කඩුලූ 4 කට 74 ක් ලෙසිනි.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් දැවීගියේ මොහොමඞ් අමීර්ගේ පන්දුවකට ස්ක්වෙයාර් ලෙග් කලාපයේ සිට යසීර් ෂා විසින් රැකගනු ලැබූ මතභේදාත්මක උඩපන්දුවකිනි. පන්දුව නිසිපරිදි රැකගත්තේදැයි යන්න පැහැදිලි නොවූවත් තුන්වැනි විනිසුරු දැවීයාම තහවුරු කළේය. සොහේල් ඛාන්ගේ පන්දුවට නායක ඇලෙස්ටෙයාර් කුක් පූල් පහරකට යාමෙන් ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවිය. එංගලන්ත පිලත් සමග දිගුකාලයක් කී‍්‍රඩා කිරීමට බලා සිටියත් හේල්ස්, වින්ස් සහ බැලැන්ස් එක්ව කණ්ඩායමට ලබාදුන්නේ ලකුණු 15 ක් පමණි.

මේ වසරේ මුල් භාගයේ සිට මෙතෙක් එංගලන්ත කණ්ඩායම වෙතින් වාර්තා වූ ශතක 9 න් 4 ක්ම ලබා තිබුණේ අංක 7 පිතිකරුවාය. තවත් දෙකක් අංක 6 පිතිකරු රැස් කොට තිබූ අතර මුල්පෙළ පිතිකරුවන් පස්දෙනා අතරින්ම ශතක 3 කට වඩා වාර්තා නොවීම කැපී පෙනෙයි.

පාකිස්තානු පිලේ දුර්වල පන්දු රැුකීම මැද වුවත් පිට පිට දෙවැනි වතාවටත් කඩුලූ 5 ක් බිඳ දමමින් එංගලන්ත ඉනිමට වැඩිම අලාභ හානිය කිරීමට සොහේල් ඛාන් සමත්විය.

සිය පළමු ඉනිම ආරම්භ කිරීමට ඊයේ දිනයේ අවසන් මිනිත්තු කිහිපයේදී පිටියට පැමිණි පාකිස්තානුවන් සිය පළමු කඩුල්ල අහිමි කරගත්තේ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ විස්මිත පන්දුවකිනි. සමි ඉස්ලාම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් පසුව මුරකරු පිතිකරු ලෙස යසීර් ෂා පිටියට ආවේය. ඉන් පසුව දිනය නිමාවනතෙක් ඔවුහු ලකුණු සොයන්නට නොගියහ.

තරගමාලාව පුරා ලකුණු අහේනියකින් පසුවූ පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් මෙම තරගයෙන් ඉවත් කරමින් ඉෆ්ටිකාර් අහමඞ්ට ටෙස්ට් වරම් ලබා දී තිබිණ.

එංගලන්තය පළමු ඉනිම - සියලූදෙනා දැවී ලකුණු 328
(ඇලිස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝ 55, මුයින් අලී 108, කි‍්‍රස් වෝක්ස් 45, මොහොමඞ් අමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම -එක් කඩුල්ලක් දැවී ලකුණු 3
(ස්ටුවර්ට් බ්‍රෝඞ් 2/1)

 

- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.