TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පාකිස්තානුවෝ ඉදිරියට පැනගනිති

. Views 821 13 August 2016 12:53

අසාඩ් ශෆීක්ගේ සහ යූනුස් ඛාන්ගේ ලකුණු අස්වැන්නෙන් සිය පළමු ඉනිම සාරුසාර කරගත් පාකිස්තානුවන් එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය  වූ ඊයේ (12 වැනිදා) සවස තරගය නිමාවට පත්වනවිට කඩුලු 6 කට ලකුණු 340 ක් රැස් කරමින් ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියට යාමට සමත්වූහ. තරගය නවත්වනවිට ඔවුන් කඩුලු 4 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 12 ක් ඉදිරියෙන් සිටියේය.

ලකුණු 7 ක් ලබා සිටියදී ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ දුන් උඩපන්දුව දෙවැනි ස්ලිප් හී සිටි ජේම්ස් ඇන්ඩර්සන් අතින් ගිලිහීයාමෙන් නිසි ඵල නෙලාගත් ශෆීක් අනතුරුව ඉතා පරිස්සම් සහගතව පිත්ත හසුරුවමින් ශතකයක් රැස් කරගත්තේය.  ඒ අතරතුර කාලයේ ඔහුට කදිම සහයක් යූනුස් ඛාන් ඊයේ සිය 32 වැනි ශතකය සම්පූර්ණ කරමින් දිනය අවසන් වෙද්දීත් කඩුල්ල රැක ගැනීමට සමත්ව සිටියේය.

පෙරේදා පළමු දිනයේ අන්තිම මොහොතේ සිය පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණි පාකිස්තානුවන් ස්ටුවර්ට් බ්‍රෝඞ් යැවූ දෙවැනි ඕවරයේදීම පළමු කඩුල්ල බිඳ ගත්තත් ඊයේ දවස පුරාම ඔවුන්ගේ කඩුලු 5 කට වඩා වැටුණේ නැත.

ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණි අසාර් අලී ඊයේ උදෑසන කාලයේ ඉතා සාර්ථක පිතිහරඹයක නිරතවෙමින් මුරකරු පිතිකරු ලෙස පෙරේදා පිටියට පැමිණි යසීර් ෂා සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකූණු 49 ක් එකතු කිරිම කැපී පෙනුණි.  ෂා ගේ දැවීයාමෙන් පසුව ශෆීක් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 75 ක්ම රැස් කළ අසාර් අලී අන්තිමේදී සිය අර්ධ ශතකයට ලකුණක් අඩුවී තිබියදී දැවී ගියේ මුයින් අලිගේ පන්දුවකට කඩුලු රකින ජොනී බෙයාර්ස්ටෝ වෙත උඩපන්දුවක් දෙමිනි.

ශෆීක්ගේ සහ යූනුස්ගේ අනගි සම්බන්ධතාව ඇතිවූයේ ඉන් පසුවය. එංගලන්ත පිලට කලෙකට අමතක නොවන පිතිහරඹයක යෙදුණු මේ දෙදෙනා හවස් වනතුරු පාකිස්තානු ඉනිම ඉහළට තල්ලුකරගෙන ගිය අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 150 ක සම්බන්ධතාවක් ද ගොඩනැගූහ.

එංගලන්තයට ජය හිමීවූ එජ්බැස්ටන් පිටියේ පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේ දී අංක 6 ස්ථානයෙන් පිටියට පිවිස ඉනිම් 2 දීම ලකුණු නොලබා දැවී ගිය ශෆීක් ඊයේ උදෑසන පිටියට පා තැබුවේ පාකිස්තානු ලකුණු පුවරුව 52 කට කඩුලු 2ක් ලෙස  තිබියදීය. ඊයේ සිය ශතකය වාර්තාවීමත් සමග මේ පිතිකරුවා වසර 58 ක් පැරැණි වාර්තාවක් වූ ටෙස්ට් තරගයක ඉනිම් 2 දීම බිංදුවට දැවීගොස් ඊළඟ තරගයේ ශතකයක් රැස් කිරීමේ විරල වාර්තාව සම කළේය. පාකිස්තානය වෙනුවෙන් අවසන් වරට එවැනි දස්කමක් පෙන්වා තිබුණේ 1958 දී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ශතකයක් ලැබූ වසීර් මොහොමඞ්ය.

ශෆීක් මෙන්ම පසුබෑමට ලක්ව සිටි පළපුරුදු පිතිකරු යූනුස් ඛාන් නිමාවට පත්වූ ටෙස්ට් ඉනිම් 6 දීම ලබා සිටියේ ලකුණු 33 ක් පමණි. සිය පැරැණි දස්කම් නැවත ඉස්මතු නොකළත් 38 හැවිරිදි මේ පිතිකරුවා ඊයේ එංගලන්තයේ වේගපන්දු යවන්නන් හමුවේ සාර්ථක පිතිහරඹයක නිරතවූ අතර මුයින් අලිගේ සහ ජෝ රූට්ගේ පන්දුවලට එළව එළවා පහර දුන්නේය.

ශෆික්ගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි නායක මිස්බා උල් හක් සහ සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ඉෆ්ටිකාර් අහමඞ් පන්දු 4 ක් ඇතුලත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ක්‍රිස් වෝක්ස් සමත්විය.


එංගලන්තය පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 328යි.
(ඇලිස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝ 55, මුයින් අලී 108, ක්‍රිස් වෝක්ස් 45, මොහොමඞ් අමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම - කඩුලු 6ක් දැවී ලකුණු 340 යි.
(අසාර් අලී 49, යසීර් ෂා 26, අසාඞ් ශෆීක් 109, යූනිස් ඛාන් නොදැවී 101, සර්ෆ්‍රාස් අහමඞ් නොදැවී 17, ස්ටුවර්ට් බ්‍රෝඞ් 59/1, ස්ටීවන් ෆින් 71/2, ක්‍රිස් වෝක්ස් 52/2, මුයින් අලී 83/1)


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.