TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

යුනිස් ඛාන් - යසීර් ෂා සුදුසුම වේලාව තෝරා ගනිති

. Views 967 14 August 2016 16:35

පාකිස්තාන ක්‍රිකට් වංශ කතාවේ වාර්තා ගණනාවක්ම අලුත් කළ ජ්‍යෙෂ්ඨ පිතිකරු යූනුස් ඛාන් එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ දවස වර්ණවත් කරමින් සිය 6 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කළේය.

දෙවැනි දිනයට තරගය නවත්වනවිට පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 340 ක් ලබා සිටි අතර යූනුස් ඛාන් නොදැවී ලකුණු 101 ක් ලබා සිටියේය. ඊයේ පාකිස්තාන ඉනිමේ මුලු බරම කරට ගත් යූනුස් ඛාන් පස්වරු තේ පානයට මොහොතකට පෙර ජේම්ස් ඇන්ඩර්සන් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගියේ සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 531 දක්වා ඉහළට ඔසවා තැබීමෙන් පසුවය. ඊට මොහොතකට පසුව පාකිස්තානු ඉනිම ලකුණු 542 කට බිඳ වැටුණු අතර ලකුණු 214 ක අවාසියක් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්තයෙන් කඩුලු 4 ක්ම උදුරාගත් පාකිස්තානු පන්දු යවන්නෝ යූනුස් ඛාන්ගේ වාර්තාගත ද්විත්වය ශතකයේ වටිනාකම සුරක්ෂිත කළෝය.

යූනුස් ඛාන්ගේ මහානුභාවසම්පන්න ද්විත්ව ශතකය පාකිස්තානයට මෙවර ටෙස්ට් තරගමාලාව 2-2 කින් සමකර ගැනීමේ අවස්ථාව කදිමට සකසා දී තිබේ. කඩුලු 6ක් පමණක් අතැතිව තවත් ලකුණු 126 ක්ම පසුපසින් සිටින එංගලන්තයට දරුණු පරාජයක් අත්කර දීමේ අටියෙන් පාකිස්තානු පන්දු යවන්නෝ උපරිම දස්කම් දක්වමින් සිටිති.

ඉන් වැඩිම හානිය කළ දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ෂා එංගලන්තයෙන් කඩුලු 3 ක්ම උදුරා ගත්තේය. නායක ඇලිස්ටෙයාර් කුක් ඇතුලු මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාටම ලකුණු 74 කදී නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදුවූ අතර මේ අනපේක්ෂිත ඇද වැටීමෙන් අන්දමන්ද වූවත් ගැරී බැලන්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ කඩුලු රැක ගනිමින් දිනය නිමාවෙද්දී සිය කණ්ඩායම ලකුණු 88 දක්වා අසීරුවෙන් තල්ලු කරගෙන ගියහ.  

ඊයේ පස්වරු තේ පානයට පෙර සිය දීර්ඝ ඉනිම හමාර කළ යූනුස් ඛාන්ට ක්‍රීඩාලෝලීන් හුනස්නෙන් නැගී සිටිමින් අත්පොලොසන් දී ආචාර කළහ. පන්දු 308 ක දීර්ඝ ඉනිම අතරතුර දී මේ 38 හැවිරිදි පිතිකරුවා පා ඉන්න අන්තයෙන් මුයින් අලිට එල්ල කළ හයේ පහර 4 ත් සමග තවත් හතරේ පහර 31ක් සිය ඉනිමට එකතු කරගත්තේය. සිවුවැනි හයේ පහර ඔහු මුයින් අලීට ගැසුවේ සිය ද්විත්ව ශතකය සම්පුර්ණ කරන්නටය.

ඉතා අලංකාර ඩ්‍රයිව් පහර රැසකින්ම සිය ඉනිම වර්ණවත් කළ යූනුස් ඛාන්ගේ ඉනිමේ කැපී පෙනෙන අවස්ථාව උදාවූයේ සර්ෆ්‍රාස් අහමඞ් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවීගියාට පසුවය. ඉන් අනතුරුව වහාබ් රියාස්ගේ කඩුල්ල ආරක්ෂා කරමින් ඕවරයෙන් ඕවරය පන්දුවට පහරදීමේ වාරය උදාකරගත් යූනුස් ඛාන් 8 වැනි කඩුල්ලට ලකුණු 35ක සම්බන්ධතාවක් ගොඩනගද්දී වහාබ් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. ඊළඟට මොහොමඞ් අමීර් නොදැවී ලකුණු 39 ක් රැස් කරමින් එංගලන්තයට බරපතලම හානිය කළ අතර  ඔහු යූනුස් ඛාන් සමග එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් ඕවර 21 ක් පුරා එංගලන්ත පන්දු යවන්නන් දැඩි වෙහෙසට පත්වූහ.

යූනුස් ඛාන්ගේ 6 වැනි ද්විත්ව ශතකය ඔහුට හිටපු විශිෂ්ට පිතිකරු ජවේඞ් මියැන්ඩාඞ්ගේ ද්විත්ව ශතක වාර්තාව සමකිරීමට උපකාරී වූ අතර ඉන් ද්විත්ව ශතක 3 ක්ම ඔහු අවුරුදු 35 න් පසු වාර්තා කිරීම නිසා එම විරල වාර්තාවට හිමිකම් කියන කුමාර් සංගක්කාර හා සම තත්ත්වයට ද පත්විය. ප්‍රතිවාදී රටවල් 6 කටම එරෙහිව ටෙස්ට් ද්විත්ව ශතක වාර්තා කළ පිතිකරුවන් වන්නේ කුමාර් සංගක්කාර සහ යූනුස් ඛාන් පමණි.

ඊයේ එංගලන්ත ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 14 ක්ව තිබියදී වහාබ් රියාස්ගේ පන්දුවක් හමුවේ නායක ඇලෙස්ටෙයාර් කුක් දැවීයාමෙන් පසුව ඇලෙක්ස් හේල්ස්, ජේම්ස් වින්ස් සහ ජෝ රූට් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට යසීර් ෂාට ඒ හැටි වෙලාවක් ගත වූයේ නැත. කවුරුත් කීවේ ඔහු කලට වෙලාවට දස්කම්වලට ආරූඩ වී ඇති බවකි. පාකිස්තානුවන්ට ජයගෙන දුන් ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී ලකුණු 141 කට කඩුලු 10 ක් දවාගත් පසුව මේ දඟපන්දු යවන්නට එංගලන්තය ජයගත් ඉතිරි තරග 2 දිම බිඳ දැමීමට හැකිවූයේ කඩුලු 4 ක් පමණි.


එංගලන්තය පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 328යි.
(ඇලෙස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝව් 55, මුයින් අලී 108, ක්‍රිස් වෝක්ස් 45, මොහොමඞ් ආමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 542යි.
(අසාර් අලී 49, යසීර් ෂා 26, අසාඞ් ශෆීක් 109, යූනුස් ඛාන් 218, සර්ෆ්‍රාස් අහමඞ් 44, මොහොමඞ් ආමීර් නොදැවී 39, ජේම්ස් ඇන්ඩර්සන් 78/1, ස්ටුවර්ට් බ්‍රෝඞ් 99/1, ස්ටීවන් ෆින් 110/3, ක්‍රිස් වෝක්ස් 82/3, මුයින් අලී 128/2)

එංගලන්තය දෙවැනි ඉනිම - කඩුලු 4ක් දැවී ලකුණු 88යි.
( ජෝ රූට් 39, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 14, වහාබ් රියාස් 15/1, යසීර් ෂා 15/3)


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.