TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පාකිස්තානුවෝ තරගාවලිය සමකරති

. Views 1326 15 August 2016 15:48

දරුණු පරාජයන් දෙකකට පසුව වූවත් සාර්ථකව නැගී සිටීමේ ක්‍රමවේදය ඉන්තේරුවෙන්ම දැන සිටි මිිස්බා උල් හක් ඇතුලු පාකිස්තාන ක්‍රිකට් පිල ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිමාවට පත්වූ සිවුවැනි ටෙස්ට් තරගයෙන්  සත්කාරක එංගලන්තය කඩුලු 10 ක් පරදවා තරගමාලාව 2-2 කින් සම කරගත්තේය. එය ඊයේ යෙදී තිබූ පාකිස්තානු නිදහස් දිනය සැමරීමට ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පාකිස්තානුවන්ට කදිම උත්තේජනයක් ද විය.
 
තරගයේ ජයග්‍රහණයෙන් පසුව පාකිස්තානු ක්‍රීඩාලෝලීහු දකුණු ලන්ඩනයේ දී තරගයේ ජයග්‍රහණයත්, ඔවුන්ගේ නිදහස් දිනයත් දෙකම එකටම සමරන්නට පටන් ගත්හ.  

තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ පාකිස්තානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 126 ක් පසුපසින් ද, කඩුලු 6 ක් අතැතිව ද සිටිමින් නැවත පිතිහරඹයට පිවිසි එංගලන්තය පසුව ලකුණු 50 කට වැඩි කඩුලු සම්බන්ධතා දෙකක් ද ගොඩ නගමින් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේය.

යසීර් ෂා
එහෙත් දිවා ආහාරයෙන් පසුව වහාබ් රියාස්ගේ ඕවරයේදී ධෛර්ය සම්පන්න ලකුණු 81 ක් රැස් කළ ජොනී බෙයාර්ස්ටෝගේ කඩුල්ලත් සමග පිට පිට කඩුලු 2ක් බිඳ වැටීමෙන් එංගලන්තයේ දෙවැනි ඉනිම අන්තිමේදී ලකුණු 253 කට සීමා වූයේ ලකුණු 40 ක පහසු ඉලක්කයක් පාකිස්තානුවන් හමුවේ තබමිනි. සත්කාරක එංගලන්තයේ දෙවැනි ඉනිම වැනසූ යසීර් ෂා කඩුලු 5 ක් දවාලූ අතර තේ පානයෙන් පසුව අසාර් අලී ජයග්‍රාහී ඉලක්කය කරා හයේ පහරකින් අවතීර්ණ විය.

සොහේල් ඛාන්ගේ පන්දුවකට කඩුලු රකින සර්ෆ්‍රාස් අහමඞ්ට උඩපන්දුවක් දී ගැරී බැලැන්ස් ආපසු ක්‍රීඩාගාරයට යාමට පෙර ඔහු සමග 5 වැනි කඩුල්ලට ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙයාර්ස්ටෝ ඉන් අනතුරුව මුයින් අලි සමග 6 වැනි කඩුල්ලට ලකුණු 55 ක් එක් කළේය. එංගලන්ත පළමු ඉනිමේ දී පාකිස්තානයට හිසරදයක් ගෙනදී ශතකයක් ලැබූ මුයින් අලී දැවී දවාලූ යසීර් ෂා සිය කඩුලු 5 සම්පූර්ණ කරගත්තේ  ස්ටුවර්ට් බ්‍රෝඞ් දවාලමිනි.

ස්ටීවන් ෆින් සහ ජේම්ස් ඇන්ඩර්සන් අතරේ අවසන් කඩුල්ලට ලකුණු 32 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තිබියදී ඉෆ්තිකාර් අහමඞ් ඔහුගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ඇන්ඩර්සන් කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකර ගැනීමත් සමග එංගලන්ත ඉනිම නිමාවට පත්විය.

මේ චමත්කාරජනක ටෙස්ට් තරගමාලාවේ ජය පරාජය තීන්දු කරන්නට දෙපිල අතර පස්වැනි තරගයත් තිබුණා නම් හොඳ බැව්  වැඩි දෙනකුගේ අදහස විය. ඒ කෙසේ වුවත් මීළඟට දෙපිල හමුවන්නේ එක්දින තරග බිමේදීය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 24 වැනිදා ආරම්භ වන අතර ඊට පසුව සැප්තැම්බර් 7 වැනිදා විස්සයි20 තරගයක් ද පැවැත්වීමට නියමිතය.

අවසන් ටෙස්ට් තරගයේදී එංගලන්තය ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය සොයා ගියත් අවසානයේ පියවරක් ඉදිරියට තබමින් ඒ ස්ථානයට ළඟාවීමේ ඉඩකඩ ඇතිකරගත්තේ පාකිස්තානයයි. ඉන්දීය පිල ලබන සතියේ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් බටහිර ඉන්දීිය කොදෙව් පිල පරාජය නොකරන්නේ නම්, ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් ඔස්ටේ්‍රලියාව ජය නොගන්නේ නම් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකිවනු ඇත.


එංගලන්තය පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 328 යි.
(ඇලිස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝ 55, මුයින් අලී 108, ක්‍රිස් වෝක්ස් 45, මොහොමඞ් ආමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 542 යි.
(අසාර් අලී 49, යසීර් ෂා 26, අසාඞ් ශෆීක් 109, යූනුස් ඛාන් 218, සර්ෆ්‍රාස් අහමඞ් 44, මොහොමඞ් ආමීර් නොදැවී 39, ජේම්ස් ඇන්ඩර්සන් 78/1, ස්ටුවර්ට් බ්‍රෝඞ් 99/1, ස්ටීවන් ෆින් 110/3, ක්‍රිස් වෝක්ස් 82/3, මුයින් අලී 128/2)

එංගලන්තය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 253 යි.
(ජෝ රූට් 39, ජොනී බෙයාර්ස්ටොව් 81, මුයින් අලී 32, සොහේල් ඛාන් 50/1, වහාබ් රියාස් 48/2, යසීර් ෂා 71/5, ඉෆ්තිකාර් අහමඞ් 1/1)

පාකිස්තානය දෙවැනි ඉනිම - කඩුලු නොදැවී ලකුණු 42 යි.
(සමී ඉස්ලාම් නොදැවී 12, අසාර් අලී නොදැවී 30)


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.