TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

එංගලන්තය 2-0 කින් පෙරමුණ ගනී

. Views 1723 28 August 2016 17:04

කාසියේ වාසිය දිනා තිබියදීත් තණකොළ සහිත තණතීරුවක පළමුව පන්දුවට පහරදීම තෝරාගැනීමේ ඵල විපාක අඩුවැඩි නොමැතිව පාකිස්තානයට තෑගි කළ එංගලන්තය ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 4 කින් ජයගත්තේ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 කින් පෙරමුණ ගනිමිනි.

පාකිස්තානු පිලේ නායක අසාර් අලි මුලින්ම පන්දුවට පහරදීමට ගත් තීරණය කෙතරම් දරුණු දැයි තහවුරු කළ ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්  පාකිස්තානුවන්ගේ ආරම්භය එහෙම පිටින්ම විනාශ කරමින් එක පිට එක කඩුලු 3 ක්ම උදුරා ගත්හ. සිවුවැනි ඕවරයේ පළමු  පන්දුවෙන් පාකිස්තානු නායකයා ලකුණු ලබාගැනීමටත් පෙර ආපසු හරවා යවද්දී පාකිස්තානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට ලකුණු 2 ක් ලෙසිනි.

අනතුරුව සර්ෆ්‍රාස් අහමඞ්ගේ සුපිරි ශතකයට හා ඉමාම් වසීම්ගේ අගනා අර්ධ ශතකයට පින්සිදු වන්නට ලකුණු 250 සම්පූර්ණ කොට තරගයක් දිය හැකි තත්ත්වයක් උදා කරගත්තේය. එහෙත් ජෝ රූට් සහ නායක ඔයින් මෝගන් එක්ව විශිෂ්ට අර්ධ ශතක දෙකක් රැස් කරමින් එංගලන්තයට ජයමාවත විවරකොට දුන්හ.

එංගලන්තයේ ආරම්භක පිතිකරුවන්ට ද  දැඩි තර්ජනයක් එල්ල කරමින් පාකිස්තානුවන් තරගයට අවතීර්ණ වූ අතර මොහොමඞ් අමීර් යැවූ ඉනිමේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන්ම ජේසන් රෝයි ලකුණු නොලබා දැවීයාමත්, ඇලෙක්ස් හේල්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට ඉමාඞ් වසීම් සමත්වීමත් මත 9 වැනි ඕවරයේ අවසන් පන්දුව වෙද්දී එංගලන්තය ලබා සිටියේ කඩුලු 2 ක් දැවී ලකුණු 35 ක් පමණි. නමුත් පන්දු රකින්නන්ගේ හිඩැස් අතරින්  පන්දුව රිංගා යැවීමට කදිම ප්‍රතිභාවක් පෙන්වන ජෝ රූට් සහ නායක මෝගන් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 112 ක් එක් කළේ පාකිස්තානුවන් වෙතින් තරගය ඉවතට ඇද දමමිනි.  

පිට පිට සිවුවැනි එක්දින අර්ධ ශතකය රැස් කිරීමට ජෝ රූට් සමත්වූ අතර නායක මෝගන් එම හපන්කම පෑවේ එක්දින තරග ඉනිම් 13 කට පසුවය. ඉමාඞ් වසීම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මෝගන් දැවීයාමෙන් පසුව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක් පන්දු 30 ක දී ලකුණු 42 ක්ම ලබා එංගලන්ත ඉනිම තවත් ශක්තිමත් කළේය. එබැවින් ඔහුගේ සහ පසුව පැමිණි ජොස් බට්ලර්ගේ මෙන්ම රූට්ගේ ද කඩුලු බිඳ වැටීමෙන් එංගලන්තය පිලේ ජයග්‍රහණයට බාධාවක් වූයේ නැත.

වසර 2012 ට පසුව එංගලන්ත පිල ලෝඞ්ස් පිටියේ ලැබූ පළමු එක්දින තරග ජය මෙය වූ අතර තුත්වැනි තරගයේදිත් පාකිස්තානුවන් මෙල්ල කරමින් තරගාවලියේ ජයග්‍රහණය අත්පත් කරගැනීමේ අරමුණින් අද ටේ‍රන්ට්බි්‍රජ් බලා පිටත්ව යයි.

සර්ෆ්‍රාස් අහමඞ් පිටියට පිවිසියේ පාකිස්තානුවන් අන්තිම අසීරු අඩියකට වැටී සිටියදීය. ඒ වනවිට ආරම්භක පිතිකරු සර්ජීල් ඛාන් සහ නායක අසාර් අලී ලකුණු නොලබා හරවා යැවීමට වෝක්ස් සමත්ව සිටි අතර වුඞ්ගේ පන්දුවකට සමි ඉස්ලාම් දැවී ගියේ එක් ලකුණකටය.

අනතුරුව බාබර් අසාම් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 64 ක් ගොඩ නඟමින් ඉනිම පිළිසකර කරන්නට පටන්ගත් හෙතෙම ෂොයිබ් මලික් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 59 ක් ද, ඉමාඞ් වසිම් සමග 6 වැනි කඩුල්ලට ලකුණු 77 ක් ද එක් කරමින් සිය කණ්ඩායම ලකුණු 200 න් ඔබ්බට ඇදගෙන යාමට සමත්විය. පන්දු 124 කින් සිය ශතකය රැස් කළ අහමඞ් ලෝඞ්ස් පිටියේ එක්දින ශතකයක් ලැබූ පළමු පාකිස්තානු පිතිකරුවා ලෙස වාර්තාපොතට එක්විය.

දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රජීඞ්ගේ පන්දුවකට ඩීප් මිඞ් විකට් කලාපයේ සිටි ඇලෙක්ස් හේල්ස් අතටම උඩපන්දුවක් දී අහමඞ් දැවී ගියේ ශතකය වාර්තා කිරීමෙන් පසුව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සාහක කිරීමේදීය. අනතුරුව ඉමාඞ් වසීම්ට සිදුවූයේ හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරන්නටය.

වෝක්ස් හා වුඞ් යළි පැමිණ පාකිස්තානුවන්ගේ ඉනිම එක් පන්දුවක් තිබියදී නිමාවට පත්කළේ දෙදෙනා අතර කඩුලු 3 බැගින් බෙදා හදා ගනිමිනි.


පාකිස්තානය - ඕවර 49.5 ක දී සියලුදෙනා දැවී 251
(බාබර් අසාම් 30, සර්ෆ්‍රාස් අහමඞ් 105, සොයිබ් මලික් 28, ඉමාඞ් වසීම් නොදැවී 63, මාක් වුඞ් 46/3, ක්‍රිස් වෝක්ස් 42/3)

එංගලන්තය - ඕවර 47.3 කදී කඩුලු 6ක් දැවී 255
(ජෝ රූට් 89, ඔයින් මෝගන් 68, බෙන් ස්ටෝක්ස් 42, මුයින් අලී නොදැවි 21, ඉමාඞ් වසීම් 38/2)


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.