TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මගේ සාර්ථකත්වය හදිසි තීරණයි - ඩිල්ෂාන්

සාකච්ඡා කළේ : දමින්ද විජේසූරිය Views 7375 28 August 2016 22:56

සාර්ථක මිනිසුන් බිහිවන්නේ නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීමෙනි. කිසියම් තීරණයක් ගනු ලබන අවස්ථාවේ සිට ඇතිවන්නා වූ අනුයාත සිදුවීම් වැලටම තමන්ම මුහුණ දිය යුතුය. 2008 ඕස්ට්‍රේලියානු සංචාරයට නොතේරීම පිළිබඳව ෂේන් වෝන් කළ ප්‍රකාශයක් අනුව සිත මෙහෙවයමින් තමන් පිළිබඳ තක්සේරුවකට පැමිණීමටත් මහේල ජයවර්ධනට දුන් දුරකතන ඇමතුමත් අතර කාලය ගෙවී ගියේ නොසිතූ වේගයෙනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අද්වීතීය මෙහෙවරක නිරත වූ තිලකරන්ත ඩිල්ෂාන් හෙවත් ටී. එම්. ඩිල්ෂන් පිළිබඳ බොහෝ දෙනා තුළ ඇති මතකය එක්දින අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් වූවත් ඩිල්ෂාන් යනු සිය දෙවැනි ටෙස්ට් තරගයේදීම ලකුණු 150 සීමාව ඉක්මවා ගිය (සිම්බාව්වේ පිලට එරෙහිව හරාරේහිදී නොදැවී ලකුණු 163 යි), ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් පිතිකරුවන් අතරටද එක්වූ විශිෂ්ට ගනයේ පිතිකරුවෙකි.

ඩිල්ෂාන් සිය මංගල එක්දින ශතකය ලබාගන්නේ ලෝක වාර්තාවකට සම්මාදම් වෙමිනි.

2006 දී නෙදර්ලන්තයේ ඇම්ස්ට්ලීවන් නුවරදී පන්දු 78 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 117 ක් ලබාගන්නා ඩිල්ෂාන් ඕවර 50 කදී කඩුලු 9 කට ලකුණු 443 ක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන යයි. එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් එදා ලෝක වාර්තා පෙතේ ලියා තැබූ වාර්තාව අදටත් නොබිඳී පවතී. ඒ අංක 5 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කරමිනි.

ඩිල්ෂාන් එක්දින පිතිකරුවකු වශයෙන් පරිපූර්ණයත්වයට පත්වන්නේ 2009 පාකිස්තානු සංචාරයේදී ඉනිම ආරම්භ කිරීමත් සමගය. 1999 දී සිම්බාබ්වේ පිලට එරෙහිව බුලවායෝහිදී එක්දින හිස්වැස්ම දිනාගන්නා ඩිල්ෂාන් 2008 දෙැසම්බර් දක්වා ලබාගත්තේ එක්දින ලකුණු 2994 කි. එහෙත් 2009 ජනවාරි මාසයේ සිට මේ දක්වා ආරම්භක පිතිකරුවකු ලෙසින් කටයුතු කළ ඩිල්ෂාන් එක්දින ලකුණු 7254 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වසර 17 ක් පුරා දහදිය හෙළුෑ ඩිල්ෂාන් අන්තර්ජාතික තරග බිමෙන්  සමුගන්නේ තෘප්තිමත් සිතිනි. ඔහු සමග කළ පිළිසඳරක් මෙසේ සටහන් කෙරෙයි


හදිසියේම මේ වගේ තීරණයක් ගන්න හිතුවේ ඇයි ?

මා හිතනවා අවුරුදු 17 ක විතර කාලයක් මගේ රට වෙනුවෙන් මගෙන් යම් කිසි දෙයක් කෙරුණා කියලා. මට ඒ ගැන සන්තෝස වෙන්න පුළුවන්. මම පිතිකරුවෙක් හැටියට අසාර්ථක වුණා නම් පන්දු යවන්නෙක් හැටියට හෝ කණ්ඩායම වෙනුවෙන් කිසියම් දෙයක් කළා. ඒ දෙකම ආසාර්ථක වුණ වෙලාවල මා පන්දු රැකීමෙන්, එක්කෝ දුවද්දී දවාගැනීමකින් නැතිනම් හොඳ උඩපන්දුවකින් ක්‍රීඩකයකු දෙන්නෙකු දවාගත්තා. ඒ නිසා මා කරපු දේ ගැන මට සන්තෝෂයක් තියෙනවා.

මම ලබාගන්න ඕන දේවල් ටික ටිකහරි ලබාගත්තා. මම අද මේ තත්ත්වයේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. ක්‍රිකට් ක්‍රීඩාවට මා ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳින් සමුදීලා, නවකයකුට අවස්ථාවක් දීලා ඔහු දිහා බලාගෙන සතුටු වෙන එක තමයි දැන් මට තියෙන්නේ.

මම යම් යම් දේවල් කරන්නේ කාටවත් ආදර්ශයක් වෙන්න කියලා නෙමෙයි. සමහර අයට ඒක ආදර්ශයක් වෙයි. ඒත් සමහර අයට ඒක වෙනත් විදිහකට පෙනේවි. යම් කිසි දෙයක් හරියි කියලා මට හිතුණොත් මම ඒ දේ කරනවා.


මේ තීරණය ගන්න ඉස්සර දවස් දෙක තුනේදී හිත කළඹමින් තිබුණේ මොන වගේ දේවල්ද ?

මගේ බලාපොරොත්තුව තිබුණේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් හැකි උපරිම තරම් කාලයක් කරන්න. මේ තරගාවලියට ඉස්සරවෙලා නම් මගේ බලාපොරොත්තුව තිබුණේ ඊළඟ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියටත් සහභාගි වෙන්න. නමුත්, මොන මොන විදිහේ බලාපොරොත්තු තිබුණත් අපේ අදහස් වෙනස් වෙනවා. ඒ නිසා ඒ අනුව ක්‍රියා කරන්න වෙනවා.

බ්‍රහස්පතින්දා (25 වැනිදා) උදේ නැගිට්ටම මට හිතුණා දැන් සමුගෙත්තොත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ. මම ටෙස්ට් තරග වලින් සමුගත්තෙත් මේ විදිහටම තමයි. එදා උදේ නැගිට්ටාම මට හිතුණා දැන් ඇති කියලා. මම බිරිඳත්, ගෙදර අයත් එක්කත් සාකච්ඡා කරලා මගේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්නුවා.


ඔබ කියන්නේ මේ තීරණය ගත්තේ කිසිම ආකාරයේ පූර්ව සැලසුමකින් තොරව කියලද ?

මම ගොඩාක් දුර සැලසුම් කරන්නේ නෑ. තරගාවලියකට ගියත් මම හිතන්නේ තරගයෙන් තරගය ගැන මිසක් තරගාවලිය ගැනම නෙමේ. අනෙක ක්‍රිකට් වලදි විතරක් නෙමේ මගේ සාමාන්‍ය ජීවිතයේදි වුණත් මා ගන්නේ ඉක්මන් තීරණ. ඒ හැම තීරණයක්ම මේ දක්වා සාර්ථක වෙලා තියෙනවා. ඒ එකක් වත් වැරදිලා නෑ. මා හිතනවා මේ වතාවෙත් ගත්තේ හරි තීරණයක් කියලා.

විශේෂයෙන්ම මේ තීරණය ගත්ත එක ගැන ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම දැන් (දිනයකට පසුව) මට හිතෙනවා මම ගත්ත තීරණය හරි කියලා.

ඔබේ ක්‍රීඩා දිවියේ මුල් කාලයේදී ඔබ පිතිකරු ලයිස්තුවේ හැම තැනම ක්‍රීඩා කළා. ඒත් ඔබ තරමක් වෙනස් ආකාරයේ පිතිකරුවක් වන්නේ ආරම්භක පිතිකරුවකු වීමත් සමගයි. ඒ 2009 පාකිස්තානු සංචාරයේ සිටයි.
ඔව්. මම 1999 ඉඳන් 2008 වෙනකම් ක්‍රීඩා කළේ පිතිකරු ලයිස්තුවේ අංක 6, 7 නැත්නම් 5 වගේ ස්ථාන වල. එක තරගාවලියකදි අංක 4 ක්‍රීඩා කරන්න ලැබුණා මොකද මහේල එයාගේ විවාහ උත්සවේට ගෙදර ආපු වෙලාවේ (2006 ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේදී). එතැනදී මම අර්ධ ශතක තුනක් ලබාගත්තා. පස්සේ මට හිතුණා මට පිතිකරු ලයිස්තුවේ ඉහළින් එන්න පුළුවන් නම් මට වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් කියලා. ඒත් මට ඉහළට එන්න අවස්ථාවක් තිබුණේ නෑ. මොකද ඒ වෙනකොට අපේ පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 5 දක්වාම පිතිකරුවෝ ඉතාමත් හොඳින් දස්කම් පෙන්වමින් හිටියේ.

එහෙම වුණත් මට ලැබෙන හැම අවස්ථාවකදීම මම උපරිම ප්‍රයෝජන ගත්තා.
මුලින්ම මම 1999 ක්‍රීඩා කළාට පස්සේ මට වසර 3 ක් විතර ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ඒ වසර තුනත් ක්‍රීඩා කළා නම් මට (එක්දින) ලකුණු 14,000 ක් නැත්නම් 15,000 ක් විතර ලබාගන්න තිබුණා. මොකද ඊට පස්සෙ වුණත් 2003 ඉඳලා 2007 වෙනකම් ක්‍රීඩකයෙක් තුවාල වුණොත් තමා මට අවස්ථාවක් ලැබෙන්නෙ.

(2007 ලෝක කුසලාන තරගාවලියේදී ඩිල්ෂාන් ක්‍රීඩා කරන නමුත් එම තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන්නේ උපුල් තරංග සහ සනත් ජයසූරියයි. කණ්ඩායමේ සිටි අනෙක් ආරම්භක පිතිකරුවා වූ මාවන් අතපත්තුට 2007 ලෝක කුසලාන තරගාවලියේදී එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන්නේ උපුල් තරග (ලකුණු 298) සහ සනත් ජයසූරිය (ලකුණු 467) දෙදෙනාම සාර්ථක වීම හේතුවෙනි.)

2008 ඕස්ට්‍රේලියානු සංචාරයට මාව එක්කරගෙන ගියේ නෑ. එදා ෂේන් වෝන් කියලා තිබුණා ශ්‍රී ලංකාවේ ඉන්න පිතිකරුවන් අතුරින් වේග පන්දු යවන්නන්ට හොඳින්ම පහර දෙන පිතිකරුවා ඩිල්ෂාන්. එයා ඕස්ට්‍රේලියානු සංචාරයට නැතිවීම ඕස්ටේ්‍රලියානුවන්ට වාසියක් කියලා.

ෂේන් වෝන් කියන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු ඒ වගේ දෙයක් කීවාම මට හිතුණා මගේ ඇඟේ මීට වඩා දෙයක් තියෙනවා. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මට හිතුණා එක්කෝ මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙනවා. නැත්නම් ආරම්භක පිතිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කරනවා කියලා. ඒ ගැනත් මම ගෙදර අයත් එක්ක කතා කළා.


එතකොට නායකත්වයේ හිටියේ මහේල. මහේල ඒ වෙනකොටත් ඕස්ටේ්‍රලියාවේ හිටියේ. මම මහේලට දුරකතන ඇමතුමක් අරන් කිව්වා මින් ඉදිරියේදී මාව අංක 7 හෝ මැද පෙළ පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට තෝරන්න එපා. අදින් පස්සේ මාව තෝරනවා නම් ආරම්භක පිතිකරුවකු හැටියට විතරක් තෝරාගන්න කියලා.

 


ඒ වෙලාවේ මහේලගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?

මහේල මට එවේලේම කිව්වේ ‘ඩිලී’ ආරම්භක පිතිකරුවකු වෙන්න ඕනෙ නම් ඔයා ගිහින් දේශීය තරග වල ඉනිම ආරම්භ කරන්න කියලා. ඊට පස්සේ මම ගිහින් බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කරලා පළමු තරගයේදීම කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 190 ක් ලබාගත්තා. ඒ තරගාවලියේ හැම තරගයක්ම අපි (බ්ලූම්ෆීල්ඞ්) කණ්ඩායම ජයගත්තා. ඊට පස්සේ බංග්ලාදේශත් එක්ක තිබුණ ටෙස්ට් තරගාවලියකට මාව කැඳෙව්වා. පළමු වැනි ටෙස්ට් තරගයේදී (අංක 6 පිතිකරුවා වශයෙන් ඉනිම දෙකේදීම) ලකුණු 61 ක් ගත්තා. දෙවැනි ටෙස්ට් තරගයේදී (අංක 6 පිතිකරුවා වශයෙන්) ලකුණු 162 කුත් 143 ක් ගත්තා. ඊට පස්සේ මට පාකිස්තානයට යන්න වුණා එක්දින තරගාවලියක් සඳහා. නමුත් එදා තරගයේදීත් මම ක්‍රීඩා කරන 11 දෙනා අතර හිටියේ නෑ.


ඔබට මොනවාද හිතුණෙ ?

දෛවය කියන්නේ ඒක තමයි. මට අද වගේ මතකයි. කාසියේ වාසිය උරගා බලන්න විනාඩි 5 කට 10 කට උඩදි ආරම්භක පිතිකරුවාගෙ ඇඟිල්ලේ පන්දුවක් වැදිලා තුවාල වුණා. මහේල ඇවිදින් ඇහැව්වා ඉනිම ආරම්භ කරන්න පුළුවන්ද කියලා. මම හා කිව්වා.

මම ඉනිම ආරම්භ කළා. පළමු වැනි තරගයේදිම ලකුණු 40 ක් (කරච්චියේදී - ලකුණු 42 යි) ලබාගත්තා. දෙවැනි තරගයේදී ලකුණු 80 යි (කරච්චියේදීම - ලකුණු 76 යි සහ තරගයේ වීරයා) අන්තිම තරගයේදී ලකුණු 140 (ලාහෝරයේදී නොදැවී ලකුණු 137 යි - තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා) ක් ගහලා තරගාවලියේ වීරයා සම්මානයත් දිනාගත්තා. එදා ඉඳන් අද වෙනකම් මා ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා කරනවා. මා හිතනවා ඒ තීරණයත් ඉතාම නිවැරදි තීරණයක්.

මම තනිවම තීරණයක් ගන්නේ නෑ. මගේ බිරිඳගෙන්, මගේ දෙමාපියන්ගෙන්, මා ආශ්‍රය කරන අයගෙන් අහලා තමයි මම තීරණයක් ගන්නේ.

ඔබ වරින් වර කණ්ඩායම ඇතුළට ආවත් ආයෙත් හිටි ගමන් කණ්ඩායමෙන් හැළෙනවා.

2009 වෙනකම් ගොඩාක් ප්‍රශ්න තිබුණා. කණ්ඩායමට එනවා. ආයෙමත් කණ්ඩායමෙන් එළියට යනවා.

ආයෙමත් තරගාවලියකට එනවා. ආයෙමත් තරගාවලි දෙකකට නෑ. ආයෙමත් එනවා....ඇවිදින් තරග 2 ක් දිනන කම් බලා ඉන්න වෙනවා කණ්ඩායමේ 11 දෙනාට එකතු වෙන්න. නැත්නම් ක්‍රීඩකයෙක් තුවාල වෙනකම් බලා ඉන්න වෙනවා....මම හුඟක් වෙලාවට හිටියේ කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා විදිහට. (පන්දු රැකීමේ දක්‍ෂතාව නිසා) අතිරේක ක්‍රීඩකයා ලෙස හිටියත් කොයි වෙලාවේ හරි මැදට ගිහිල්ලා මොනවා හරි දෙයක් කරන්න තමයි හිතේ තිබුණේ. රට වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක මහ විශාල දෙයක්. මට ඒ ආශාව තිබුණා.

මාව කොයි තරම් කණ්ඩායමෙන් හැළුණත් මම කොයි වෙලාවකවත් මගේ සටන අතහැරියේ නෑ. මම අසාර්ථක වෙලා නොහිටියත් මම කණ්ඩායමෙන් එළියේ හිටපු වෙලාවල් තිබුණා. ඒත් මම සසල වුණේ නෑ. එක උදාහරණයක් මා කියන්නම්...

මා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වගේම නායකයාත් වෙලා හිටියා. එක පාරටම පුහුණුකරුවන් මාරු වුණා. පුහුණුකරුවන් මාරුවෙලා ආවම මට කිව්වා ඔයා දැන් නායකත්වයේ ඉන්න ඕන නෑ. ඔයා දැන් ලකුණු ගහන එක ගැන උනන්දු වෙන්න කියලා. ඉන්දියාවත් එක්ක තිබුණ දින හතරේ තරග (නිල නොවන ටෙස්ට් තරග) තුනේදිම මම නායකයා වුණත් එක්දින තරගාවලියෙදී මාව නායකත්වයෙන් ඉවත් කළා. ඊට පස්සෙ තිබුණෙ 2003 ලෝක කුසලාන තරගාවලිය

තේරීම් තියන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මාව ආයිමත් අංක 7 ට දැම්මා.  ඒ තරගයෙදී ලකුණු 40 ක් ලබාගත්තා. ඊළඟ තරගයෙදි අංක 8 පිතිකරුවා වුණා. මුහුණ දුන්නේ බෝල 10 කට විතරයි. ලකුණු 20 ක් ලබාගත්තා. ඒත් 2003 ලෝක කුසලාන තරගාවලියට යන්න බැරිවුණා.

ඒ වගේ ගොඩාක් පසුබෑම් සහ එක එක සිදුවීම් තිබුණා. ඒත් මම කවදාවත් ඒවායින් වැටුණේ නෑ. මම නිතරම උත්සාසහ කළේ හරි දේ කරන්නයි. මම ගමේ පොඩි ඉස්කෝලෙකින් ඇවිල්ල, කොළඹ ක්‍රීඩකයන් එක්ක කරට කර තරග කරල තමයි මේ තැන දිනාගත්තේ. මේ වෙනකොට ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයන් 10 දෙනා 11 දෙනා අතරට එන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඒ වෙනුවෙන් මම කළ පරිත්‍යාග සහ කැපවීම මේ සාර්ථකත්වය පිටිපස්සෙ තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම මාව දිරිමත් කළ දෙමාපියන් සහ බිරිඳත් මා වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී සිටියා.

එක්දින තරග වලදී ලකුණු 10,000 පසුකරලා ගිහින් තියෙන්නේ ක්‍රීඩකයන් 11 දෙනයි. ලංකාවෙන්ම 4 දෙනයි. ඒ හතර දෙනා අතරෙ මාත් ඉන්නවා. මේ හැල හැප්පීම් මැද්දෙ, ඒ හතර දෙනාගෙනුත් ඉක්මනින්ම ලකුණු 10,000 ගත්තෙ මම කියන එක ගැන ගොඩක් ආඩම්බරයි.


ඔබේ නායකත්වයේ සුවිශේෂී කඩයිමක් තමයි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් දිනාගන්නට ලැබීම. ඒ ගැන දැන් කොහොමද දකින්නේ ?
නායකත්වය දරපු කාලය ඇතුළත මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. කවුද මාත් එක්ක හිටියේ..අවංකවම මට සහයෝගය දුන්නේ කවුද?

මට උදව්වට හිටියේ කවුද කියන එක ගැන මම හොඳ වැටහීමක් ලබාගත්තා. ක්‍රිඩකයො විතරක් නෙමේ. පිටින් ආපු දේවල් එක්ක පවා මට කටයුතු කරන්න සිදුවුණා.

හැබැයි මම එක දෙයක් කළා ඒ අවුරුද්ද ඇතුළත. ඒ තමයි නවකයෝ 10 ක් 15 ක් විතර ගෙනාපු එක. ඒ නවකයො තමයි අද මේ තරග ජයග්‍රහණය කරන්නෙ. ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා සමහරුන්ට ඇයි මම මේ තරම් නවකයො ගේන්නෙ කියලා. මම නායකත්වයෙන් ඉවත් වෙන්න ඒකත් එක ප්‍රශ්නයක් වුණා.

නායකත්වයේ ඉන්නකොට වගකීමක් තියෙනවා. මම කවුරුහරි ක්‍රීඩකයෙක් කණ්ඩයමට ගේනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. ඒ කාලයේ මම ගත්ත තීරණ එක්ක ගොඩාක් හැල හැප්පීම් තිබුණා. ඒත් මම ඒ තීරණ වලම හිටියා. මොකද මමයි නායකයා. මම ඒ තීරණ ගත්තේ අනාගතය ගැන හිතලා. ඒ ගැන මට අද සන්තෝසයි. ඒ නවකයොත් එක්ක ගිහිල්ලා දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් දිනන්න හැකිවීම විශාල දෙයක්. ඒ වෙනකම් කිසිවකුට ඒ දේ කරන්න බැරිවෙලා තිබුණා.


එක්දින තරගාවලියත් දිනන්න තිබුණ නේද ?

එක්දින තරගාවලියත් දිනන්න තිබුණා. අවාසනාවට වැස්ස නිසා එක තරගයක් (බ්ලූම්ෆොන්ටයින්හිදී පැවැති තුන්වැනි එක්දින තරගය) ලකුණු 4 කින් පරාජය වුණා. අවසන් තරග දෙකම අපි ජයගත්තා. වැස්ස නොතිබුණා නම් 3-2 කින් එක්දින තරගාවලිය අපට දිනන්න තිබුණා. එච්චර හොඳට කරලත් ......

පළමු වැනි විස්සයි:20 තරගාවලිය ජයග්‍රහණය කළේ මගේ නායකත්වය යටතේ 2-0 කින්. ඒ ඕස්ටේ්‍රලියාවට එරෙහිව. ඒ වෙනකම් අපි විස්සයි:20 තරගාවලියක් දිනල තිබුණෙ නෑ. ඒ අවුරුද්ද තුළ ලැබූ ජයග්‍රහණ ගොඩාක් තිබුණා. නමුත් ගොඩක් අයට ඒක ඒ තරමටම දැනුණෙ නෑ.  

සනත් ජයසූරියට හරියට සමුගැනීමේ තරගයක් වත් දීලා තිබුණෙ නෑ. ඒත් මම නායකත්වය දරපු කාලෙදි සනත් අයියට එංගලන්තයට එන්න කියලා සමුගැනීමේ තරගයක් දුන්න. ඒ ගැනත් එක එක අය එක්ක මත ගැටුම් තිබුණත් මම කළේ හරි දේ කියලා මට හිතෙනවා. අද මට ඒ ගැන සන්තෝස වෙන්න පුළුවන්.

මම නායකත්වය බාර ගනිද්දි ගොඩක් ක්‍රීඩකයන් විවධ ආබාධ වලට ලක්වෙලා තිබුණා. නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්ට පාදයේ ආබාධයක් නිසා ඒ අවුරුද්ද පුරාම ඔහුට පන්දු යවන්න බැරිවුණා. ඒ නිසා මම සෑහෙන අමාරුවෙන් තමයි ඒ ගමන ගියේ...එක්දින තරගයකදි මට යොදාගන්න පුළුවන් වුණේ පිතිකරුවන් 6 දෙනයි. අපට හරි හමන් තුන් ඉරියව් ක්‍රීඩකයකු හිටපු නැති නිසා පන්දු යවන්නන් පස් දෙනෙක්ම යොදාගන්න සිද්ධ වුණා.

ඇන්ජලෝට ඒ අවුරුද්ද පුරාම පාදයේ ආබාධය තිබුණ එක මගෙත් අවාසනාව වෙන්න ඇති.
(මෙම ආබාධය උත්සන්න වුවහොත් පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට එකතු කළ හැකි ලකුණු සංඛ්‍යාවත් අහිමි වන බැවින් ඇන්ජලෝ මැතිව්ස් තවමත් පන්දු යවන්නේ ඉතාමත් ඉතාමත් පරෙස්සමිනි. වර්තමානයේ වුවද එක්දින තරගයකදී මැතිව්ස්ගේ පන්දු යැවීම ඕවර 5 කට 6 කට සීමාවී පවතී.)

හැබැයි මම ඉතාමත් සන්තෝස වෙනවා මම කරපු දේවල් දිහා බලලා. මම ගෙනාපු ක්‍රීඩකයන් දැන් දස්කම් දක්වමින් සිටිනවා. ඒ ගොල්ලන් දැන් තමන්ගේ මවුබිම වෙනුවෙන් තරග දිනවලා දෙනවා.
 

කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු නැත්නම් ළහිරු කුමාර වගේ ඉතාම ස්වල්ප දෙනෙක් හැරෙන්න අපේ ක්‍රීඩකයන් වැඩි දෙනෙක් ජාතික කණ්ඩායමට එන්නේ ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කරාට පස්සෙයි. ක්‍රීඩා සමාජ මට්ටමේදි ක්‍රීඩකයන්ගේ විවේකාගාරයයි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයයි අතර වෙනස කොයි වගේද ?

මම හිතනන්නෙ එතන අති විශාල පරතරයක් තියෙනවා. මම ගොඩාක් ක්‍රීඩා සමාජ වලට සෙල්ලම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි නිවැරදි පුහුණුකරුවන් ඒ තැන්වල යොදාගන්න ඕන කියල මට හිතෙනවා.

පොතටම සීමා වෙච්ච පුහුණුකරුවන්ට වඩා ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික දැනීමක් තියෙන පුහුණුකරුවන් ඉන්නවා නම් වඩාත් හොඳයි. තරගයකට ඉස්සරවෙලා කණ්ඩායමක් සූදානම් කරන්නෙ කොහොමද, තරගය යද්දි ක්‍රීඩකයන්ගේ විවේකාගාරය හසුරුවාගන්නෙ කොහොමද කියල ඒ අය දන්නවා. ඒත් පොතේ තියෙන ටික එක පාරටම කණ්ඩායම ඇතුළට ගේන්න බෑ.

ක්‍රීඩකයන්ගේ කාමරයේ වටාපිටාව හදන්න පුළුවන් පුහුණුකරුවකුට විතරයි. ජාතික කණ්ඩායමට ආවාම ගොඩාක් දේවල් වෙනස් කරන්න බෑ. එතැනදී ඉතාම සුළු සුළු දේවල් විතරයි වෙනස් කරන්න පුළුවන්. නමුත් තරගාවලියකට ඉස්සරවෙලා පුහුණුවීම් කරන්නේ කොහොමද, කණ්ඩායමක් එකට තියාගන්නේ කොහොමද, තරගයට සූදානම් වෙන්නේ කොහොමද කියන ඒවා තමයි වැදගත් වෙන්නේ.

ඒ ගැන අපේ ක්‍රීඩා සමාජ මට්ටමේ සිටින පුහුණුකරුවන් දැනුවත් කරන්න ඕනෑ. ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයො දෙන්න තුන්දෙනා ඇවිල්ල ඒ ගොල්ලන් දන්න දේ කරල යනවා මිසක් ක්‍රීඩා සමාජ මට්ටමේදී ඊට වඩා දෙයක් කෙරෙන්නේ නෑ. ක්‍රීඩා සමාජ ඇතුළට මේ පණිවුඩය ගෙනියන්න මීට වඩා වෘත්තීමය ම්ට්ටමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ.

එහෙම වුණොත් අපට මීට වඩා දක්‍ෂ ක්‍රීඩකයන් හොයාගන්න පුළුවන්. සමහර ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා තියෙනවා. නමුත් ඒවා එළියට දාගන්න පුළුවන් අය ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. අපි හරියට ඒවා හොයාගෙන යන්න ඕන. සමහර ක්‍රීඩකයන්ට තියෙන්නේ පහර දෙකයි, තුනයි නැත්නම් හතරයි. ඔවුන් ඒවාට හුරු වෙලා ඉන්නවා.

ඒත් ඒ වගේ ක්‍රීඩකයන්ගෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඒවා වෙනස් කරන්න යන්න නරකයි.
අපේ රටේ බිහිවන ක්‍රීඩකයන් ටිකක් වෙනස්. සමහර අයගේ තාක්‍ෂණය කියන එක ඇත්තෙම නෑ. නමුත් ඔවුන් ක්‍රීඩකයන් වශයෙන් ගත්තාම තාක්‍ෂණය පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයන්ට වඩා ඉතාමත් හොඳයි. ඒ වගේ වෙලාවල ඔවුන්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද, ඔවුන්ව නිවැරදි කරමින් කොයි තරම් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියන එක ගැන පුහුණුකරුවන්ට හොඳ වැටහීමක් තියෙන්න ඕන.  

මේවා වෙනස් කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නැතිවෙච්ච ක්‍රීඩකයනුත් ඉන්නවා. අපි ලසිත් මාලිංගට ඒ දේ කළා නම් අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. ඒ නිසා ක්‍රීඩා සමාජ මට්ටමේදී හරි දැනුමක් තියෙන අය පිටිපස්සේ ඉඳගෙන ඒ දේවල් දිහා බලන්න ඕන.


ඔබේ අවුරුදු 30 ක ක්‍රිකට් ජීවිතයෙදිත්, ජාතික කණ්ඩායමත් එක්ක හිටපු අවුරුදු 17 ක කාලයෙදිත් ගෙවා ගන්න වඩාත්ම අසීරු කාලය මොකක්ද ?

නායකත්වය දරපු කාලෙදි වෙච්ච සිදුවීම් තමයි වැඩිහරියක්ම තියෙන්නේ. 1999 පළමු වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරපු එක ලේසියි මම නායකත්වයේ හිටපු කාලෙදි මුහුණ දුන්න සිදුවීම් එක්ක බලද්දි. සමහර දවස වලට මට ගෙදර ගිහින් නිදාගන්න බැරි තරම් ප්‍රශ්න ආවා. හැබැයි ඒ අවුරුද්ද තුළ මම දෙයක් ඉගෙන ගත්තා. මා හිතන්නේ ඒ අවුරුද්ද තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ අමාරුම කාලය.


ඔබේ ක්‍රිකට් දිවියේ වැඩියෙන්ම සතුටු වුණ දවස මොකක්ද ?

2014 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් දවසයි 1999 දී මට ටෙස්ට් හිස්වැස්ම ලැබුණ දවසයි. මගේ මුල්ම ටෙස්ට් හිස්වැස්ම මට දුන්නේ සනත් අයියා. ඒ වෙනකොට පුහණුකරු වුණේ ඩැව් වට්මෝර්.

මට ටෙස්ට් හිස්වැස්ම ගොඩක් වටින්නේ මම ගොඩාක් දුක් අමාරුකම් මැද්දේ තමයි මේ ගමන ආවේ. අපට කළුතර විද්‍යාලයේ පහසුකම් මහ ගොඩාක් තිබුණේ නෑ. අපි අලුත් බෝලයක් ගත්තේ සුමාන දෙකකට සැරයක්. ඒකත් ගෙදරින් කෑමට දෙන සල්ලි වලින් රුපියල් දහය දහය එකතු කරලා, ක්‍රීඩකයන් 15 දෙනාගෙන් රුපියල් 150 ක් හදාගෙන තමයි අපි සුමාන දෙකකට සැරයක් අලුත් බෝලයක් ගත්තේ.

ඒ වගේ දුෂ්කර ගමනක් ඇවිල්ල තමයි ජාතික කණ්ඩායමේ නායකයා වෙලා, ලෝකයේ වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකරුවන් 11 දෙනා අතරට ඇවිල්ල, අන්තිම අවුරුදු 5 ලෝකයේ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත ලයිස්තුවේ 4 හෝ 5 වැනි ස්ථාන වලට ඇවිල්ලා, අවුරුදු තුනකදීම ලෝක කණ්ඩායමටත් තේරුණේ. ඒ දිහා අපසු හැරිලා බලද්දි පුදුම සතුටක් දැනෙනවා. ගොඩාක් අයට තිබුණ දේ මට තිබුණෙ නෑ. මම පොඩි පවුලකින්, පොඩි ඉස්කෝලෙකින් ආවේ. ඒත් මම වැටුණෙ නෑ.


2009 ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ගිය බස්රථයට ත්‍රස්තවාදීන් වෙඩි තියපු වෙලාවේ රියදුරුටත් මඟ පෙන්වන්නා වෙමින් ගඩාෆි ක්‍රීඩාංගණයට බසය රැගෙන ඒමට උපදෙස් දුන්නේ ඔබයි. ඔබ ඒ අවස්ථාවේ ක්‍රියා කළ අකාරය නිසා කණ්ඩයමේ සියලු දෙනාගේ ජීවිත බේරුණ බව සැමදෙනාගේම මතය වුණා. ඒ අවස්ථාව ගැන මඳක් විස්තර කරන්න පුළුවන්ද ?

ඒ වෙඩි සද්දේ ඇහෙන කොට අපි මුලින්ම හිතුවේ රතිඤ්ඤා පුපුරන හඬ කියලයි. ඒ එක්කම වගේ අපට ඉදිරියෙන් ආපු කාර් එකකින් කට්ටියක් බැහැල අපේ බස් එකට වෙඩි තිබ්බා. එතකොම මම කෑගැහැව්වා මේ අපට තමයි වෙඩි තියන්නේ කියලා.

ඒ ආපු වෙඩි උණ්ඩ සේරම බසයේ ඉදිරිපස වීදුරුව (වින්ඞ්ස්ක්‍රීනය) හරහායි ආවේ. ක්‍රීඩකයන්ගෙන් මම තමයි ඉස්සරහම හිටියේ. ඒත් වාසනාවට මගේ ඉස්සරහින් කෝපි හදන යන්ත්‍රය තිබුණා. මම හිටියේ රියදුරුට පිටුපස අසුනේ. මම අතේ තිබුණ බෑග් එකත් වීදුරුව පැත්තට තියාගත්තා.

බසයේ රියදුරුත් කිසිදෙයක් හිතාගන්න බැරිව කම්පනයට පත්වෙලායි හිටියේ. ඒත් යං යං කියලා මම එයාට කෑගැහැව්වාම ඒ කෑගැහැල්ලත් එක්ක එයා පියවි සිහියට ආවා මංහිතන්නේ. ඒ එක්කම එයා බස්රිය ධාවනය කරන්න ගත්තා.

මට එහා පැත්තේ හිටියේ බ්‍රෙන්ඩන් (කළමණාකරු - බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා) අයියා. ඒ එක්කම මට ඇහෙනවා එක එක්කෙනාගෙ කෑගැහිල්ල..මට වැදුණා...මට වැදුණා කියන සද්දෙ විතරයි ඇහුණෙ. ඊට පස්සෙ කතාවක් නෑ බස් එකේම. අපි එතන හිටියනම් අපේ කාගෙ හරි ජීවිත නැතිවෙන්න තිබුණා. මොකද එතන කාර් දෙකකින් ආපු පිරිසක් තමයි වෙඩි තියාගෙන ගියේ.

අපිත් මුලින් හිතුවේ ඒ දෙගොල්ලන්ගේ ප්‍රශ්නයක් කියලා. ඒත් එක්කෙනෙක් බෑග් එකකුත් එල්ලගෙන බැහැලා කෙළින්ම බස්එකට වෙඩිතියන්න පටන් ගත්තා. පස්සේ මම ඩ්‍රයිව් ඩ්‍රයිව් කියලා කෑගැහැව්වා. වෙනදට බස් එක දෙපැත්තෙන් වාහන දෙකක් එනවා. ගේට්ටුවත් පටුයි. ඒවා මොනවත් බැලුවේ නෑ. ගේට්ටුවත් හප්පගෙන තමයි බස්එක ඇතුළට දැම්මේ.


පිට්ටනියට ගියාට පස්සේ මොකද වුණේ ?

පිට්ටනියට ගියාට පස්සේ තමයි ඇත්ත තත්ත්වය දන්නේ. අපේ අයට වෙඩි වැදිලා. තිලාන්ගෙන් ලේ යනවා. ඒ අතරේ අපේ කාමරයට නොදන්න අයත් සෑහෙන්න එන්න ගත්තා. මම ඒ වෙලාවේ ආරක්‍ෂක නිලධාරීන්ටත් කෑ ගහලා සේරමලාව එළියට දැම්මා. මොකද තුවාල වෙච්ච අයට බේත් දානවද?, කවුරු පිටින් එනවද කිසිදෙයක් හොයාගන්න බෑ.

පස්සේ සේරමලා එළියට දාලා, දෙපැත්තෙන්ම දොරවල් වහල, පොලිසියෙන් ගෙන්නලා තමයි තත්ත්වය පාලනය කරගත්තේ.

අපට වෛද්‍යවරයෙක්වත් ආවෙ නෑ පැය බාගයක් විතර යනකම්..... මායි මහේලයි පොලිසියේ අයට කෑගහලා කිව්වේ අපේ එක ක්‍රීඩකයෙක්වත් මෙතැනින් එළියට ගෙනියන්න දෙන්නේ නෑ. ගිලන් රථ එපා. වෛද්‍යවරුන් මෙතැනට ගෙන්නලා ප්‍රතිකාර කරන්න කියලයි අපි කිව්වේ. ඒත් අපි තිලාන්ව ඉක්මනටම රෝහල්ගත කළා. එයාට තමයි දරුණුවටම වෙඩි වැදිලා තිබුණේ. කාමරයට යද්දි අපේ සහාය පුහුණුකරුගේ (පෝල් ෆාබ්‍රේස් මහතා) අතේ වෙඩි උණ්ඩය එහෙමම තිබුණා.

ඒ අතරේ මට බිරිඳයි දුවයි මතක් වුණා. ඒ අය හිටියේ හෝටලයේ. දුවට එතකොට මාස තුනයි. මම ඉක්මනටම එයාට දුරකතනයෙක් කතා කරලා කිව්වා කිසිම කෙනෙක් එක්ක එළියට එන්න එපා. මම මගේ පරිවාර නිලධාරියා එවනවා. එයත් එක්ක මිස එළියට එන්න එපා. එතකන් ඇඳුම් අහුරාගන්න කියලා මම එයාට කිව්වා.
ඒ වෙනකොටත් පල්ලෙහාට එක්කෙනෙක් ඇවිත් එයාට කියලා ඕගොල්ලන්ගේ හස්බන්ඞ්ලාට වෙඩි තියනවා. ඕගොල්ලන්ව පිට්ටනියට එක්කරගෙන යන්නම් කියලා. හොඳ වෙලාවට මම එවේලේම බිරිඳට දුරකතන ඇමතුමක් දුන්න. එහෙම නොවුණා නම්, එයාළව එළියට අරන් ගියා නම්, නැත්නම් එයා කලබල වෙලා එළියට ආවා නම් මොකෙන් මොකක් වේද කියල හිතාගන්න බෑ.

ඒ අත්දැකීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය සහ අනාගතය ගැන ඔබ දකින්නේ කොහොමද ?

අපට ඉතාම හොඳ තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. මා මේ දැන් ටිකකට කලින් තමයි ළහිරු කුමාරට පළමු වරට මුහුණ දුන්නේ. ඔහු ඉතාම හොඳ පන්දු යවන්නෙක්. හොඳ වේගයක් වගේම දෝලනයකුත් තියෙනවා. ඒ වගේ ක්‍රීඩකයන්ව අපි ආරක්‍ෂා කරගත යුතුයි. ඔවුන්ට හරි මාර්ගය පෙන්වා දිය යුතුයි.

අපේ ඉදිරි ගමන හොඳයි. ක්‍රිකට් ආයතනයේ වර්තමාන නියමුවා ඉතාමත් හොඳයි. ඔහුට හොඳ දැක්මක් වගේම දුර දකින ඥාණයක් තියෙනවා. ඔහුට අදහසක් තියෙනවා කොහෙටද මේ ගොල්ලන් ගෙනියන්න ඕන කියලා. ඒ නිසා මා හිතනවා තිලංග සුමතිපාල මහත්මයත් එක්ක මේ ක්‍රීඩාව ගොඩක් දුර ගෙනියන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි උප සභාපති වරුන් දෙදෙනාත් ඉතාම හොඳයි.

ජයන්ත ධර්මදාස මහත්මයා මටත් පියෙක් වගේ වෙච්ච අවස්ථා තියෙනවා. එයාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මටත් ප්‍රශ්න ආ වෙලාවෙ ඔහුව හමුවෙලා ඒ ප්‍රශ්න කතාකරලා ඒවා විසඳගත්තා. ඒ වගේ ඕනම ක්‍රීඩකයකුට ඒ අය හම්බවෙලා ඕන දෙයක් කියන්න පුළුවන්. මා හිතන්නේ ඒ තත්ත්වය නවකයන්ට ලොකු ශක්තියක් වේවි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන දක්‍ෂතා ඔබ දකින්නේ කොහොමද ?

මා ඉතාමත් සතුටු වෙච්ච දෙයක් තමයි ඕස්ටේ්‍රලියාවත් එක්ක පැවැති ටෙස්ට් තරගාවලිය ජයගත්ත එක. ඒ තරගාවලියට ඉස්සරවෙලා කියලා තිබුණෙ අපි දෙවැනි පෙළ කණ්ඩායමක් වගේ කියලනෙ. නමුත්  ශ්‍රී ලංකාව කියන්නේ කොයි තරම් ඉක්මනින් නැඟිටින්න පුළුවන් කණ්ඩායමක්ද කියන එක අපි පෙන්නුවා.


අපට කවදාවත් ක්‍රීඩකයන් හිඟ නොවෙන්නේ අපේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රිඩාවේ තියෙන ශක්තිමත් සැලැස්ම නිසයි. ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද ?

පාසලෙන් තමයි අපි හැමෝම එළියට එන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් අපව හඳුනා ගන්නේ පාසලේදීමයි. ඒ නිසා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි මීට වඩා ටිකක් උනන්දු විය යුතුයි.

මට හිතෙන විදිහට කොළඹින් පිට පාසල් වලට මීට වඩා පහසුකම් සදිය යුතුයි. ඒ වගේම අපට පුළුවන් නම් මාසෙකට සැරයක් වත් දවස් දෙක තුනක් අපේ ජාතික කණ්ඩායමේ ඉන්න පුහුණුකරුවන්ගෙන් කෙනෙක් දෙන්නෙක් යවලා, ඒ පාසල් වල ඉන්න පුහුණුකරුවන් එක්ක වැඩ කරන්න පුළුවන්නම් ඒ පුහුණුකරුවොත් දෙයක් ඉගෙන ගන්නවා. ක්‍රීඩකයනුත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා.

අපි ඉස්කොලෙට සෙල්ලම් කරන කාලෙ ‘හැම්ස්ටි්‍රං ඉන්ජරි’ (කලව පසුපස මස්පිඬුවේ ඇතිවන ආබාධයක්) කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ. සමහර වෙලාවට ඒක එහෙමම තියාගෙන තරග වලට යනවා. අයිස් තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නෑ.

අද වුණත් වයස 17 න් පහළ නැත්නම් 19 න් පහළ ජාතික කණ්ඩායමට ආවම තමයි දන්නේ ව්‍යායාම ශාලාවකට යන්න ඕනේ, ශක්ති වර්ධක ව්‍යායාම වගේම බර ආශ්‍රිත ව්‍යායාම කරන්න ඕනේ කියන එක. කන බොන රටාව ගැන විතරක් නෙමේ නිදාගන්නා රටාව පවා අපි අගෙන ගනනේ එතනින්. මම ජාතික කණ්ඩායමට එනකම් මම දැනගෙන හිටියේ නෑ මොනවද කළ යුත්තේ කියල.

තවමත් කොළඹ ඉස්කෝල වල තිබ්බට කොළඹින් පිට ඉස්කෝල වලට ඒ දැනුම නැහැ. ඒත් ඒ ගැන පාසල් ක්‍රීඩකයන්ට හරිහමන් දැනුමක් තියෙන්න ඕනෙ. අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවො, නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයො කළුතරට, ගාල්ලට, මාතරට, නුවරට, කුරුණෑගලට යවලා ඒ දැනුම දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ජාතික කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයක් ඉගෙන ගත්තු දේවලින් සියයට 5 ක් ඒ වගේ ප්‍රදේශයක ඉන්න ක්‍රීඩකයකුට දෙන්න පුළුවන් නම් ඒ ක්‍රීඩකයන්ට ඉස්සරහට එන්න පුළුවන්.

සමහර පාසල් තියෙනවා ඔහේ යනවා. පුහුණුකරුවෙක්වත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාව බාර ගුරුමහතා තමයි පුහුණුකරවන්නෙත්. ඒකත් ඒ මනුස්සයාගේ තියෙන පෞද්ගලික උනන්දුව හින්දා. එහෙම තත්ත්වයත් තිබිලත් වාසනාවට වගේ අපට ක්‍රීඩකයන් එළියට එනවා. ඒත් මීට වඩා පාසල් ක්‍රිකට් ගැන උනන්දුවක් ගත්තොත් අපේ කණ්ඩායම මීට වඩා හොඳට හදාගන්න පුළුවන්.

උදාහරණයක් වශයෙන් අපේ පාසලෙන් (කළුතර විද්‍යාලයෙන්) ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් හතර දෙනෙක් බිහිවෙලා තියෙනවා. ඒත් තවමත් තණතිල්ලක් නෑ. වාසනාවට වගේ ‘සරේ විලේජ්’ ක්‍රීඩාංගණයේ අපේ ළමයි පුහුණුවීම් කරනවා


ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පස්සේ ඔබේ ජීවිතය සැලසුම් කරලා තියෙන්නේ මොන ආකාරයෙන්ද ?

දැනට නම් මගේ මූලික අරමුණ ගෙදර අයත් දරුවනුත් එක්ක කාලය ගතකරන එක. මගේ ක්‍රිකට් ජීවිතය නිසා ඒ ගොල්ලත් අවුරුදු 10 ක් 15 ක් ලෙකු කැපකිරීමක් කළා. ඒ ගොල්ලන් එක්ක යන්න තිබුණ තැන්, ඒ ගොල්ලන්ගේ විශේෂ අවස්ථා ඒ ගොල්ලන් එක්ක ඉන්න තිබුණ කාලය මගෙන් ගොඩක් මඟහැරුණා.

මගේ පුතා හම්බවෙනකොට මම එංගලන්ත. කණ්ඩායමේ නායකයා. මට එන්න විදිහක් නෑ. මම පුතාව දැක්කෙ මාස තුනකට පස්සෙ. මගේ බිරිඳත් දරුවනුත් ගොඩක් කැපකිරීම් කළා. ඒ ගොල්ලන් වෙනුවෙන් කාලය ගතකරන්න තමයි මගේ බලාපොරොත්තුව.

බිරිඳ වුණත් එයාගේ ගොඩක් දේවල් කැපකරලා මට උපරිම තැනට යන්න සහයෝගය දුන්නා. මම බඳින කොටත් එයා ඉතාම ජනප්‍රිය නිළියක්. ඒ වෙනකොටත් ටෙලි නාට්‍ය ගිවිසුම් 20 ක් විතර අත්සන් කරලා තිබුණෙ.
පස්සෙ එයා කතාකරලා මා වෙනුවෙන් ඒවයින් ඉවත් වුණා. මම තවමත් කිසිම ලීග් ක්‍රිකට් තරගාවලියකට අත්සන් කරලා නෑ. ගෙදර අයත් එක්ක කාලය ගතකරමින් ආරම්භ කළ ව්‍යාපාර දිගටම කරගෙන යන්නයි අදහස


කතාවක් තියෙනවා ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සූදානම් වෙනවයි කියලා. ඒක ඇත්තද ?

නෑ. ඒක වැරදි කතාවක්. මට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තියෙනවා තමයි. ඒත් මම එහෙ යන්න බලාපොරොත්තුවක් නෑ. මගේ එකම බලාපොරොත්තුව මගේ ලොකු දුවගේ ක්‍රීඩා පහසුකම් දියුණු කරන්නයි. එයාගේ විශාල ආශාවක් තියෙනවා ක්‍රීඩාවට. එයාට තවම අවුරුදු 7 යි. ඒත් එයා අවුරුදු 9 අයත් එක්ක තරග කරනවා.

එයා කැමති කෙටිදුර දුවන්න. ඉතින් මම හිතුවා එයා වෙනුවෙන් දෙයක් කරන්න. ඒත් ඒ අංශයෙන් ලංකාවේ එච්චර දියුණුවක් නැති නිසා මම නිකමට යාළුවෙකුට කිව්වා ‘මෙයාව පුහුණු කරන්න මම ඕස්ටේ්‍රලියාවට යන්න හිතන් ඉන්නේ’ කියලා. ඔය කතාව තමයි ඔය දුරදිග ගිහින් තියෙන්නේ.

මට ඕනේ මෙගේ දරුවො තුන්දෙනාගෙනුත් රටට වැඩක් කරන්න. ඔවුන්ට නිවැරදි බුද්ධිය දිලා, හරි පාර කියා දීල, ඔවුන්ව සමාජයට දෙන්න. මගේ මව්බිමට මම ආදරෙයි. මගේ මව්බිම දාලා මම කොහේවත් යන්නේ නෑ.

ඡායාරූප : ඉෂාර එස්. කොඩිකාර (ඒ. එෆ්. පී.)


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.