TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පාකිස්තානයට ඇතිවීම - නැතිවීම අතර තරගයක්

. Views 2972 29 August 2016 22:05

තරග 2-0කින් එක්දින තරගාවලියේ පෙරමුණ අත්පත් කරගෙන සිටින එංගලන්ත පිල හෙට (30 වැනිදා) නොටිංහැම් හී ටේ‍රන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය ජයගෙන සංචාරක පාකිස්තානුවන් අන්ත පරාජයකට පත්කරනු ඇතැයි විචාරකයන්ට වඩා බුකීකරුවෝ දැනටමත් අනාවැකි පළ කරමින් සිටිති.

පෙරේදා ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමත් සමග එංගලන්ත පිල සිය දස්කම් මුවහත් කරගෙන සිටින අතර හෙට තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් සිය පීඩනය දුරු කරගැනීමට එංගලන්ත පිලේ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පුල පුලා බලා සිටී. දණහිසේ ඇතිවූ ආබාධයක් නිසා මෙවර ගිම්හානය එහෙම පිටින්ම විනාශ කරගත් 25 හැවිරිදි මේ ක්‍රීඩකයා පසුගිය එක්දින තරග 2 දීම ක්‍රීඩා කළේ විශේෂඥ පිතිකරුවකු ලෙස පමණි.

පාකිස්තාන පිතිකරුවන් අසීරුවට පත් කරමින් මාක් වුඞ්, ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් සිත්ගන්නා සුළු පන්දුයැවීමක නිරත වූ අතර අනිත් අතට පිතිකරුවන් පෙනෙන හැටියට දැනටමත් ඔවුනොවුන්ගේ සුපුරුදු රිද්මය සොයා ගෙන තිබේ.

ලකුණු අතරේ සිටින ජෝ රූට් පෙරේදා තරගයේදී ලකුණු 89 ක්ම ලබාගනිමින් පිට පිට සිවුවැනි එක්දින අර්ධ ශතකයක් වාර්තා කළ අතර නායක ඔයින් මෝගන් ද නැවත දස්කම් අතරට සේන්දු වී සිටි. හෙට තරගයේ දී එය එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වන බැවින් තරගාවලිය ජයගැනීමේ කිසිදු සැක සංකාවක් එංගලන්ත කඳවුරේ නොමැත. හෙට තරගයට එංගලන්ත පිලේ පිතිහරඹ ලැයිස්තුව වෙනස් නොකිරීමට එයම හේතුවක් වනු ඇත.

මේ අතර පාකිස්තානයේ හිටපු ශ්‍රේෂ්ඨ වමත් වේගපන්දු යවන්නා වන වසීම් අක්රාම් ඊයේ පෙරේදා කී පරිදි ඔවුන්ගේ එක්දින ක්‍රිකට් පිල දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ අනූව දශකයේ දී ක්‍රීඩා කළ අයුරින් ඉතා දුර්වල මට්ටමකය.

පෙරේදා තරගයේදී පාකිස්තානු පිලේ කඩුලු රකින්නා වන සෆ්රාස් අහමඞ් ලකුණු 105 ක් රැස් නොකරන්නට පාකිස්තානයට ඊටත් වඩා අන්ත පරාජයකට මුහුණ පාන්නට වනු ඇත. එම තරගයේදී  ලකුණු 2 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුටම ආපසු ක්‍රීඩාගාරයේ විවේක ගැනිමට සිදුවූ අතර තරගයේ ඉතිරි කොටස ඇදගෙන යාමේ සම්පූර්ණ වගකීම කරපින්නාගත්තේ අහමඞ්ය.

ලකුණු 251 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට කිසිදු ආකාරයක තර්ජනයක් දීමට ඔවුන්ගේ පන්දු යවන්නන් අසමත්වීම හෙට තරගයට පෙර කණ්ඩායමේ කළමනාකාරීත්වයේ අවධානයට යොමු විය යුතු බව වසීම් අක්රම්ගේ අදහස වී තිබේ.

බැලූ බැල්මට නම් හෙට තරගය සඳහා පාකිස්තානුවන් වෙනස්කම් කිහිපයක්ම සිදුකිරිමට නියමිත අතර මේ  තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ තරගයක් මෙන්ම ඇතිවීම සහ නැතිවිම අතර තරගයක් බවට ද පත්වී තිබේ.


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.