TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මැතිව්ස්ට මාසයක විවේකයක්

දමින්ද විජේසූරිය Views 2681 4 September 2016 21:50


පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තවත් මාසයක පමණ කාලයක් විවේක ගත යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි එක්දින තරගයේදී පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්වූ මැතිව්ස් එම තරගයේදී සිය ඉනිම අතර මග නවතා ක්‍රීඩාගාරයට පැමිණියද 8 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව නැවතත් පිටියට පිවිසියේය.

ඔහුට ලකුණු කරා දිව යාම ඉතාමත් අපහසු වූ හෙයින් කඩුල්ලේ එක් අන්තයක රැඳී සිටිමින් හතරේ පහර වලින් ලකුණු ලබාගැනීමට උත්සාහ කළද දෙවැනි වර පිටියට පිවිස ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි.

තරගයෙන් පසුව පළමු දිනය රෝද පුටුවක ගතකළ මැතිව්ස් තවත් දින දෙකක් කිහිළි කරු ආධාරයෙන් ගමන් කළේය. ශ්‍රී ලංකා නායකයා මේ වන විට කිහිළිකරු නොමැතිව ඇවිද යා හැකි තත්ත්වයට පැමිණ සිටී.

මෙ අතර ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග නැවතත් පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරගාවලියට ලසිත් මාලිංග ඇතුළත් විය හැකිද යන්න පිළිබඳව කළ විමසීමකදී දැනගත හැකිවූයේ මාලිංග පුහුණුවීම් ආරම්භ කළ නමුත් තරග කිරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ නිර්දේශය තවමත් ලබා නැති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගාවලිය වන සිම්බාබ්වේ සංචාරයේදී ඔහුට ක්‍රීඩා කළ හැකි බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ සංචාරය වන සිම්බාබ්වේ සංචාරය ටෙස්ට් තරග 2 කින් සහ තුන්කොන් තරගාවලියකින් සමන්විතය. සිම්බාබ්වේ සංචාරය ඔක්තෝබර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරගාවලිය පැවැත්වේ.

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.