TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ෂොයිබ් - සර්ෆ්‍රාස් පාකිස්තානු ගෞරවය රකිති

. Views 2182 5 September 2016 14:09

තරග 5-0 ජයග්‍රහණයකින් සංචාරක පාකිස්තානුවන් බිමට සමතලා කිරීමට උදම් අනමින් සිටි එංගලන්තයේ බලාපොරොත්තුව බිඳ දැමූ සර්ෆ්‍රාස් අහමඞ් සහ ෂොයිබ් මලික් කඩා වැටුණු පාකිස්තානු ඉනිමට මුක්කු ගැසීම නිසා ලන්ඩනයේ කාඩිෆ් නුවරදී ඊයේ පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබාගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

තරගාවලිය 4-1 කින් පරාජය වූ නමුත් සර්ෆ්‍රාස් සහ මලික් දෙදෙනා පාකිස්තානු ගෞරවය රැකගත්හ.
එංගලන්තය ලබා දුන් ලකුණු 303 ක අසීරු ඉලක්කය හඹා ගිය පාකිස්තානය කඩුලු 6 ක් පමණක් දැවී තරගය ජයගත්තේ තවත් ඕවරයකුත්, පන්දු 4 ක්ම ඉතිරිව තිබියදීය. එය ආසියාතික නොවන රටකට එරෙහිව ආසියාවෙන් පිටත දී පාකිස්තානු කණ්ඩායමක් විසින් ඉලක්කයක් කරා යමින් ලබාගන්නා ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාපොතට එක්විය.

ජේසන් රෝයි
පාකිස්තානු ඉනිම සිරිත් පරිදි කඩා බිඳ දැමීම ආරම්භ කරමින් ක්‍රිස් වෝක්ස් පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 22 කට සීමා කරමිනි. සාර්ජිල් ඛාන් දවාගැනීමෙන් පසුව මාක් වුඞ් එක් ඕවරයකදීම බාබර් අසාම් සහ නායක අසාර් අලී වේලාසනින්ම ක්‍රීඩාගාරයට හරවා යවද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට 77 ක් ලෙසිනි. අනතුරුව ෂොයිබ් මලික් සහ සර්ෆ්‍රාස් අහමඞ් කදිමට ඉනිම පිළිසකර කරමින් සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 163 ක් විය.

ලකුණු 9 ක් ලබා සිටියදී මලික් අසීරු උඩපන්දුවක් දුන්නත් ෂෝට් කවර් ස්ථානයේ සිට ඉදිරියට පැන එය ඩැහැ ගැනීමට ජෝ රූට් ගත් උත්සාහය අපතේ ගිය අවස්ථාව හැරුණු කොට එංගලන්ත පන්දු යැවීමේ බලඇණියට මේ දෙදෙනා සාර්ථකව මුහුණ දුන්හ.

පා ඉන්න පැත්තෙන් පන්දුව තල්ලු කර හරින්න සමත් සර්ෆ්‍රාස් මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ වමතින් දඟපන්දු යවන ලයාම් ඩෝසන්ට දරුණු ලෙස පහර දුන්නේය. ඩෝසන්ගේ පන්දු හමුවේ පකිස්තානු පිතිකරුවන් ලකුණු 70 ක් උදුරා ගැනීම නිසා  මේ අසරණ පන්දු යවන්නා මංගල එක්දින තරගයේදීම වැඩිම ලකුණු සංඛ්‍යාවක් තිළිණ කළ එංගලන්ත පන්දු යවන්නා බවට පත්විය.

ෂොයිබ් මලික් සහායකයාගේ භූමිකාව නිරූපනය කළේය. සිය සගයාට කදිම සහයක් දුන් වඩාත් පළපුරුදු දකුණත් පිතිකරුවා ඩෝසන් යැවූ පන්දුවකින් දැවී ගිය අතර සර්ෆ්‍රාස්ට මේ තරගාවලියේ ලබාගැනීමට තිබූ දෙවැනි ශතකය ගිලිහී ගියේ ලකුණු 10 කිනි.

මේ දෙදෙනාගේ දැවීයාමෙන් පසුව පාකිස්තානුවන් මෙවර එංගලන්ත සංචාරයේ සිය එකම එක්දින තරග ජයග්‍රහණය සඳහා ඕවර 10 කින් ලකුණු 47 ක් ගත යුතුව තිබිණි. එහෙත් මොහොමඞ් රිස්වාන් සහ වේල්සයේ උපන් ඉමාඞ් වසීම් තරගය වෙනස් කිරීමට කොහෙත්ම එංගලන්තයට ඉඩ දුන්නේ නැත. මෙවර එක්දින තරගාවලියේ සෑම තරගයකම නොදැවි සිටි වසීම් ඊයේ තරගයේදිත් කඩුල්ල රැක ගත්තේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි.

ෂොයිබ් මලික්
එංගලන්තය නැවත වතාවක් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් එහා මෙහා කර තිබූ අතර ආදිල් රෂීඞ් සහ මුයින් අලී විවේක ගන්වා තිබිණි. කාඩිෆ් වැනි වියළි ස්වභාවයක් උසුලන තණතීරුවක ඔවුන් දෙදෙනා වෙහෙස නොකොට බංග්ලාදේශ සහ ඉන්දියා සංචාරවලට සූදානමක් ලෙස හැම්ෂයර් ප්‍රාන්ත පිලේ ඩෝසන්ට තැනක් දී තිබිණි. එහෙත් එක් දඟපන්දු යවන්නකු පමණක් කණ්ඩායමට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව ගත් තීන්දුව වැරැදි සහගත එකක් බව තහවුරු කරමින් කාඩිෆ් තණතීරුව දඟපන්දු යවන්නන්ට කදිමට ගැලපුණි.

කාසියේ වාසිය දිනා එංගලන්තයට ඉනිම ආරම්භ කිරීමට ඉඩ සැලසූ පාකිස්තානු පිලේ නායක අසාර් අලීට කදිම පිළිතුරක් දුන් එංගලන්ත පිතිකරුවෝ ප්‍රතිවාදින්ට අසීරු ඉලක්කයක් ලබාදෙමින් ලකුණු 300 සීමාව පැනගත්තේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිට සහ මැදපෙළින් පැමිණි බෙන් ස්ටෝක්ස්ට පින්සිදු වන්නටය.

 ලකුණු 92 කට කඩුලු 3 ක් වැටී තිබියදී දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව 72 කි. ජේසන් රෝයිගේ දැවීයාමෙන් පසුව ජොනීි බෙයාර්ස්ටෝ සමග එක්වූ ස්ටෝක්ස් පස්වැනි කඩුල්ලටත් ලකුණු 55 ක් එකතු කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 219 ක්ව තිබියදී 38 වැනි ඕවරයේ බෙයාර්ස්ටෝ පස්වැනි කඩුල්ල ලෙස දැවීයාමෙන් ආරම්භ වූ මැදපෙළ කඩා වැටීම නිමාවූයේ ලකුණු 64 ක් තුළ පිතිකරුවන් පස් දෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හැරී යාමෙනි. ඉනිමේ අවසන් ඕවර අටට ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 42 ක් පමණි.

 


එංගලන්තය - ඕවර 50කදී කඩුලු 9ක් දැවී 302
(ජේසන් රෝයි 87, ඇලෙක්ස් හේල්ස් 23, බෙන් ස්ටෝක්ස් 75, ජොනී බෙයාර්ස්ටෝ 33, මොහොමඞ් ආමීර් 50/3, හසන් අලි 60/4)

පාකිස්තානය - ඕවර 48.2කදී කඩුලු 6ක් දැවී 304
(අසාර් අලී 33, බාබර් අසාම් 31, ෂොයිබ් මලික් 77, සර්ෆ්‍රාස් අහමඞ් 90, මොහොමඞ් රිස්වාන් නොදැවී 34, ඉමාඞ් වසීම් නොදැවී 16, මාක් වුඞ් 56/2, ලයාම් ඩෝසන් 70/2)


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.