TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඩිල්ෂාන් පල්ලෙකැලෙන් හෙට සමුගනී

ශානුක අරවින්ද Views 3323 5 September 2016 21:46

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (6 වැනිදා) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයේදී කුසල් පෙරේරා සමගින් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

මෙම තරගය තිලකරත්න ඩිල්ෂාන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරන අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගය වන අතර ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ සිය මංගල එක්දින තරගයට සහ ටෙස්ට් තරගයට සහභාගි වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ඩිල්ෂාන්ගේ නායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් වි:20 තරගය වූ එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගය සඳහා ඩිල්ෂාන් සහභාගී නොවූ අතර එහිදී කුසල් පෙරේරා සමගින් ඉනිම ඇරඹූ ධනුෂ්ක ගුණතිලකට මෙම තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ස්ථානයක් අහිමි වී ඇත.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස අසාර්ථක වීම නිසා කුසල් පෙරේරාට ඉතිරි තරග හතරේදී මැද පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවූ අතර විස්සයි20 තරගාවලියේදී නැවතත් ඔහුව ආරම්භක පිතිකරුවකු ලෙස යොදාගැනීමට කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවසන් එක්දින තරග දෙකේදී ආරම්භක පිතිකරුවකු ලෙස සාර්ථක වෙමින් ලකුණු 76 ක් සහ 34 ක් රැස්කළ ධනංජය ද සිල්වාට මෙම තරගයේදී මැද පෙළ පිතිරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 සහ 4 යන ස්ථාන වල ක්‍රීඩා කිරීම සඳහා කුසල් මෙන්ඩිස් සහ නායක දිනේෂ් චන්දිමාල් ස්ථාවර වී සිටින අතර ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානයේ (අංක 5) ක්‍රීඩා කිරීම සඳහා චාමර කපුගෙදරට වැඩි ඉඩක් තිබේ.

කළකට පසු නැවතත් විස්සයි20 සංචියට ඇතුළත්ව සිටින පිට දඟ පන්දුයවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක හෙට තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර ඔහුගේ සහයක දඟ පන්දුයවන්නා ලෙස පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

මිලින්ද සිරිවර්ධන සහ සචිත් පතිරණ දෙදෙනාම වමතින් පා දඟ පන්දුයවන ක්‍රීඩකයන් වන බැවින් බොහෝ දුරට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් හෙට තරගයේදී කණ්ඩායමට ඇතුළත් වනු ඇති අතර අවසන් එක්දින තරග දෙකේදී දැක්වූ දස්කම් අනුව එම ස්ථානය සචිත් පතිරණට ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා සහ දසුන් ශානක අතුරින්ද එක් අයෙක් පමණක් හෙට තරගයේදී කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවට වාර්තා වේ. තරග දිනවීමේ හැකියාව මෙන්ම අත්දැකීම් අතින්ද දසුන් ශානකට වඩා තිසර පෙරේරා ඉදිරියෙන් සිටින බැවින් එම අවස්ථාව තිසරට ලැබීමට වැඩි ඉඩක් තිබේ.

තිසර පෙරේරා හෝ දසුන් ශානක කණ්ඩායමට ඇතුළත් වන්නේ නම් තවත් එක් වේග පන්දු යවන්නෙකුට පමණක් කන්ඩායම් ස්ථානයක් වෙන්වන අතර එම ස්ථානය සඳහා සුරංග ලක්මාල් සහ කසුන් රාජිත අතර තරගයක් පවතී.

මෙම තරගයේදී කණ්ඩායම තෝරාගන්නා අකාරය ගැන අද (5 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී දිනේෂ් චන්දිමාල් මෙසේ පැවසීය.  

“14 දෙනකුගෙන් සමන්විත සංචිතයක් අපි තෝරාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඩිල්ෂාන්, සචිත්‍ර වගේ අත්දැකීම්වලින් බහුල විස්සයි20 ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත්ව සිටීම ගැන ගොඩක් සතුටුයි. මොකද කළින් අපිට අත්දැකීම් අඩු බවක් දැණුනා. මේ තරග දෙකම ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“තවම අවසන් 11 දෙනා ගැන කිසිම දෙයක් කථා කරලා නැහැ. මුලින්ම අපිට තණතීරුව, ඒ වගේම හෙට දවසේ කාලගුණය ගැන බලන්න වෙනවා. අපි දන්නවා විශේෂයෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පින්නෙන් බාධා ඇති වෙනවා. ඒ හැම දෙයක් ගැනම සළකලා බලලා තමයි පිතිරුවන් හය දෙනෙක් ක්‍රීඩා කරනවාද, නැත්නම් හත් දෙනෙක් ක්‍රීඩා කරනවද කියලා අවසන් තීරණයකට එන්නේ” යයිද චන්දිමාල් පැවසීය.

ආබාධ වලට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලයන්ට සහ ඒරන් ෆින්ච්ට විස්සයි20 තරගාවලිය අහිමි වී ගියද, ග්ලේන් මැක්ස්වෙල් සහ කඩුලු රකින ක්‍රීඩක පීටර් නෙවිල් නැවත කණ්ඩායමට ඇතුළත් වීමෙන් ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව තවත් ශක්තිමත් වී තිබේ.

අවසන් එක්දින තරග තුනේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මෙහෙයවූ ඬේවිඞ් වෝනර්, විස්සයි20 තරගාවලියේදීද ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.


ශ්‍රී ලංකා සංචිතය -
දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, ධනංජය ද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රාජිත සහ දසුන් ශානක

ඕස්ට්‍රේලියානු සංචිතය -
ඬේවිඞ් වෝනර් (නායක), උස්මන් කවාජා, ජෝජ් බේලි, ට්‍රැවිස් හෙඞ්, මැතිව් වේඞ්, ජේම්ස් ෆෝක්නර්, ග්ලේන් මැක්ස්වෙල්, පීටර් නෙවිල්, මිචෙල් ස්ටාක්, ජෝන් හේස්ටිග්ස්, ස්කොට් බෝලන්ඞ්, ඇඩම් සම්පා සහ මෝසස් හෙන්රික්ස්

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.