TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මැක්ස්වෙල් පිත්තෙන් ජය මාවත සදයි

. Views 3350 6 September 2016 22:30

ග්ලේන් මැක්ස්වෙල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිසා ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 85 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.


ජයග්‍රහණය සඳහා ලකුණු 264 ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 43 කදී ලකුණු 58 ක් ලබාගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාව
ග්ලෙන් මැක්ස්වෙල් - නොදැවී 145
ඬේවිඞ් වෝනර් - ප. සේනානායක 28
උස්මාන් කවාජා - ඇ. තිසර පෙරේරා ප. පතිරණ 36
ට්‍රැවිස් හෙඩ් - ඇ. ද සිල්වා ප. තිසර පෙරේරා 45
අතිරේක (ව-2, පා-2, බ-4, නි-1) 9
එකතුව ඕවර 20 කදී කඩුලු 3ක්  දැවී     263
කඩුලු වැටීම 
1-57 (වෝනර්), 2-154 (කවාජා), 3-263 (හෙඩ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ජෝර්ජ් බේලි, මොයිසස් හෙන්රිකස්, පීටර් නෙවිල්, ජේම්ස් ෆෝක්නර්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ස්කොට් බෝලන්ඩ්
පන්දු යැවීම
සචිත්‍ර සේනානායක 4-0-49-1  
සුරංග ලක්මාල් 4-0-51-0 නි-1, ව-2
කසුන් රාජිත 3-0-46-0  
තිසර පෙරේරා 4-0-58-1  
ධනංජය ද සිල්වා  1-0-8-0  
සචිත් පතිරණ 4-0-45-1  
ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා - ඇ. ස්ටාක් ප. බෝලන්ඩ් 4
තිලකරත්න ඩිල්ෂාන් - ප. ස්ටාක් 4
ධනංජය ද සිල්වා - ප. ෆෝක්නර් 12
දිනේෂ් චන්දිමාල් -  ඇ. හෙන්රිකස් ප. බෝලන්ඩ් 58
කුසල් මෙන්ඩිස් - ඇ. මැක්ස්වෙල් ප. හෙන්රිකස් 22
තිසර පෙරේරා -  ඇ. බෝලන්ඩ් ප. සම්පා 7
චාමර කපුගෙදර -  ඇ. බේලි ප. ස්ටාක් 43
සචිත් පතිරණ - ඇ. හෙඩ් ප. බෝලන්ඩ් 2
සචිත්‍ර සේනානායක - නොදැවී 6
සුරංග ලක්මාල් - ඇ. සහ ප. ස්ටාක් 1
කසුන් රාජිත - නොදැවී 0
අතිරේක (ව-3, පා-8, බ-8) 19
එකතුව ඕවර 20 කදී කඩුලු 9ක් දැවී    178
කඩුලු වැටීම 
1-9 (ඩිල්ෂාන්), 2-15 (කුසල් පෙරේරා), 3-45 (ද සිල්වා), 4-76 (මෙන්ඩිස්), 5-94 (තිසර පෙරේරා), 6-138 (චන්දිමාල්), 7-142 (පතිරණ), 8-174 (කපුගෙදර), 9-177 (ලක්මාල්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 4-0-26-3  
ස්කොට් බෝලන්ඩ් 4-0-26-3 ව-2
ජේම්ස් ෆොක්නර්  4-0-38-1  
මොයිසස් හෙන්රිකස් 2-0-24-1  
ඇඩම් සම්පා 4-0-27-1 ව-1
ග්ලෙන් මැක්ස්වෙල් 2-0-21-0  
ස්කොට් බෝලන්ඞ්ගේ පන්දුවක් හමුවේ මෝසස් හෙන්රික්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට චන්දිමාල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.


මුල් පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි චාමර කපුගෙදර (43) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චන්දිමාල් සමත් වුවද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීම සඳහා එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.


ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිකරඹයක නිරත වූ චාමර කපුගෙදරගේ ඉනිමට හයේ 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ජෝජ් බේලි අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට කපුගෙදර පන්දු 25 කට මුහුණදී සිටියේය.


පැහැදිළි අනාගතයකට පෙරමං කියමින් අලංකාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 13 කදී ලකුණු 22 ක් රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය. කෙසේ වුවත් වැඩි වේලාවක් කුසල්ට කඩුල්ලේ රැදීසිටීමට ඉඩ නොදුන් මෝසස් හෙන්රික්ස් මුලු ලකුණු සංඛ්‍යාව 76 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස ඔහුව පිටියෙන් ඉවත් කළේය.


පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලබා තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා, අනිසි පහරකට යමින් ජේම්ස් ෆෝක්නර්ගේ පන්දුවක් හමුවේ නිරපරාදේ කඩුල්ල පූජා කිරීමත්, 6 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදුන් තිසර පෙරේරා ලකුණු 7 ක් ලබා සිටියදී ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ස්කොට් බෝලන්ඞ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑමත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.  


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සම්බන්ධතාව ලකුණු 9 කට සීමා කරමින් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු සංඛ්‍යාව 4 කට පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාක් සමත් විය. ඩිල්ෂාන්ගේ දැවීයෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 6 ක් එක්වන විට ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ස්කොට් බෝලන්ඞ්ගේ පන්දුවක් හමුවේ මිචෙල් ස්ටාක් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 4 ක් ලබා සිටි කුසල් පෙරේරාද දැවී ගියේය.


දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඞ් ලකුණු 26 කට කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූහ.


කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පැමිණි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 263 ක් ලබාගත්තේය.


එය විස්සයි20 තරගයකදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමක් වන අතර මින් පෙර මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් කෙන්යාවට එරෙහිව ලකුණු 260 ක් ලබාගනිමින් එම වාර්තා තබා තිබිණ.


ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල්, අද දිනයේදී සිය හොඳම විස්සයි20 ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 65 කදී නොදැවී ලකුණු 145 ක් රැස්කළේය. පන්දු 27 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ මැක්ස්වෙල්, ශතකය සම්පූර්ණ කළේ පන්දු 49 කිනි.


මැක්ස්වෙල්ගේ ප්‍රවේගකාරී ඉනිම දැවැන්ත හයේ පහර 9 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය. ඉන් හයේ පහර 3 ක් සචිත්‍ර සේනානායකගේ පන්දු හමුවේ පිට පිටම ලබාගත් අතර 2 ක් කසුන් රාජිතගේ පන්දු හමුවේ පිට පිටම ලබාගත් ඒවා විය.


මැක්ස්වෙල්ගේ ඉනිම විස්සයි20 තරගයකදී ක්‍රීඩකයෙක් වාර්තා කළ දෙවැනි හොඳම ඉනිම වන අතර ඒරන් ෆින්ච් ලකුණු 156 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙයි.


දෙවැනි කඩුල්ල සඳහා උස්මන් කවාජා (36) සමග එක්ව පන්දු 51 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැක්ස්වෙල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ටේ‍රැවිස් හෙඞ් (45) සමග එක්ව පන්දු 40 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමුවේය.


තෙවැනි කඩුල්ල ලෙස ඉනිමේ අවසන් පන්දුවේදී දැවීයන විට පන්දු 18 කට මුහුණදී සිටි ටේ‍රැවිස් හෙඞ්, සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර කර තිබිණ. තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් ටේ්‍රවිස් හෙඞ් දැවී ගියේය.


පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් ලබා සිටි උස්මන් කවාජගේ ඉනිම නිමා කිරීමට සචිත් පතිරණ සමත් වූ අතර ලෝන්ග් ඕෆ්හි පන්දු රකිමින් සිටි තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ඔහු පිටියෙන් ඉවත් විය.


ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 57 කට සීමා කිරීමට සචිත්‍ර සේනානායක සමත්වූයේ නායක ඬේවිඞ් වෝනර් පිටියෙන් ඉවත් කරමිනි. සචිත්‍රගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී දැවීයන විට ඬේවිඞ් වෝනර් පන්දු 16 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 28 ක් ලබා සිටියේය. ඊට කසුන් රාජිතගේ පළමු ඕවරයේදී පිට පිටම ලබාගත් හතරේ පහර 4 ක්ද ඇතුළත් විය.


පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දුයවන්නෝ දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර තිසර පෙරේරාගේ ඕවර 4 දී ලකුණු 58 ක් රැස්කිරීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත් වූහ. සුරංග ලක්මාල්ගේ ඕවර 4 දී ලකුණු 51 ක්ද, චචිත්‍ර සේනානායකගේ ඕවර 4 දී ලකුණු 49 ක්ද, කසුන් රාජිතගේ ඕවර 3 දී ලකුණු 46 ක්ද ඕස්ටේ්‍රලියාවට හිමි විය.

 

- 036


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.