TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

එංගලන්තයට වාසිදායක අනාවැකි

. Views 2569 7 September 2016 14:22

සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියෙන් ලැබූ පරාජයේ වාඩුව පිරිමසා ගැනීමේ බලාපොරොත්තුවෙන් ද, මාස දෙකක තරම් දීර්ඝ සංචාරය ජයග්‍රාහී සෙයියාවෙන් නිමාවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ද හිත් පුරවා ගත් පාකිස්තානුවෝ මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙපිල අතර එකම විස්සයි20 තරගයට අද (7) මුහුණ දෙති.

කෙටි මුහුණුවරකින් යුතු තරගවලදී කලෙක පටන් පාකිස්තානු පිල දැඩි පසුබෑමකට ලක්වී සිටින අතර එක්දින තරගාවලියේ අවසන් තරගය පවා ජයගත්තේ පළමු තරග 4 ම පරාජයට පත්වී සිටි මොහොතකදීය. කෙසේ වුවත් ඒ ජයග්‍රහණයෙන් ලැබූ උද්දාමයත්, අමුතු උත්තේජනයත් මත හෙට තරගයට ඉහළ මානසිකත්වයක් ගොඩ නගාගැනීමට පාකිස්තානුවෝ වාසනාවන්ත වී සිටිති.

අනිත් අතට පාකිස්තාන  පිලේ විස්සයි20 කණ්ඩායමේ නව නායක සර්ෆ්‍රාස් අහමඞ් මෙවර මුලු සංචාරයේදීම විස්මිත අයුරින් දස්කම් අතර සිටින බැවින් සිය නායකත්වයේ වගකිමත්, පිතිකරුවාගේ වගකිමත් දෙකම අකුරටම ඉටු කිරීමට උපරිම උත්සාහයක නිරතවනු ඇත. අද තරගයට ඔවුන් කණ්ඩායම අලුත් කොට ඇත්තේ අමාඞ් බට්, කාලිඞ් ලතීෆ් සහ සොහේල් තන්වීර් ඇතුලත් කරගනිමිනි. ඒ අනුව එක්දින පිලේ නායක අසාර් අලි, උමාර් ගුල්, සමී අස්ලාම්, යසීර් ෂා සහ හසන් අලී මේ වනවිටත් ගම්බිම් බලා පියාසර කරමින් සිටිති.

බෙන් ස්ටෝක්ස්
එක්දින තරගාවලිය 5-0 ක් ලෙස පහසුවෙන් පාකිස්තානුවන් බිමට සමතලා කරදැමීමට තිබු අවස්ථාවක් මග හැරීයාමෙන් තරමක් කනස්සල්ලෙන් යුතුව සිටින එංගලන්ත පිල එකම විස්සයි:20 තරගයේ දී ඒ කණගාටුව සතුටකට හරවා ගැනීමට සූදානමින් පසුවෙයි.

පාකිස්තානු පිලේ එංගලන්ත සංචාරය පටන්ගත් දිනයේ සිටම බුකී කරුවෝ සහ විචාරකයෝ එංගලන්තය පරාජය වූවත් නැතත් ඔවුන්ගේ වාසියට අනාවැකි පළ කළහ. සුපුරුදු පරිදි විස්සයි:20 තරගයත් සත්කාරකයෝ දිනන බවට ඔව්හු දැනටමත් පුරසාරම් දොඩවන්නට පටන් ගෙන සිටිති.

වත්මන් විස්සයි20 තරග බිමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තය 5 වැනි තැන පසුවන අතර පාකිස්තානය පසුවන්නේ 7 වැනි තැනය. මේ වසර මුල් භාගයේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ආසිායනු කුසලාන තරගාවලියේදිත්, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදිත් වේලාසනින්ම ඉවතට විසිවූ පාකිස්තානයට කොහොමටත් ඒ හැටි වාසනාවක් නම් නැත.

විස්සයි20 ලෝක අනුශූරයන් වන එංගලන්තයට කෙටි මුහුණුවර යටතේ වැඩි දෙයක් කිරීමට තරම් සමත් පිතිකරුවන්ගෙන් මෙන්ම පන්දු යවන්නන්ගෙන් අඩුවක් නැත. කලක් ආබාධයකට ලක්ව සිට නැවත එක්දින කණ්ඩායමට එක්වූ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එම තරගාවලියේදී සියලු අංශවලින් දස්කම් පෑවේ විස්සයි20 තරගයේදිත් පාකිස්තානුවන්ට ප්‍රබල අභියෝගයක් බවට කල්තියාම කියා පාමින

ස්ටෝක්ස් විස්සයි20 තරගයකට ක්‍රීඩා කරන්නේ පසුගිය විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දු ඕවරය යවමින් ජීවිතය පුරා අමතක නොවන කටුක අත්දැකීමක් එකතු කරගැනීමෙන් පසුවය. එදා කල්කටා නුවර පැවැති විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 19 ක් අවශ්‍ය තිබූ අතර ස්ටෝක්ස්ට පිට පිට හයේ පහර 4 ක්ම වැදුණේ ඔහුගේ දෑස් කඳුලෙන් තෙත් කරවමිනි.


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.