TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

ශානුක අරවින්ද Views 4738 8 September 2016 20:41

සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වේ. තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහාභාගි වන අවසන් ජාත්‍යන්තර තරගයද මෙයයි.


මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා කියා සිටියේ මෙම තරගය සඳහා කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ තීරණයක් ගැනීමට සූදානමින් සිටි බවයි.


“ඕස්ටේ්‍රලියානු කණ්ඩායමත් එක්ක බලනකොට අපේ කණ්ඩායම අත්දැකීම් අතින් හුගක් පසුපසින් ඉන්නේ...ඒගොල්ලො ලෝකෙ වටමේ තියන විස්සයි20 තරගාවලි වලට සහභාගි වෙනවා. අයි. පී. එල්., සී. පී. එල්., බිග් බෑෂ් වගේ ඒවට. ඒත් අපේ ගොඩක් ක්‍රීඩකයන්ට ඒ අත්දැකීම් නෑ”


“අඩුම තරමේ මීට වසර කිහිපයකට කළින් ශ්‍රී ලංකාවෙ තිබුණ විස්සයි20 තරගාවලියවත් (එස්. එල්. පී. එල්.) අපිට දිගටම පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. ඒක අපේ ක්‍රීඩකයන්ට ලොකු පාඩුවක්. ඒ නිසා අසීරු අවස්ථාවන් වලදී පීඩනය මැඩපවත්වාගෙන ක්‍රීඩා කරන්න අපේ ක්‍රීඩකයන් තරමක පසුබෑමක් පෙන්වනවා.” යැයිද ෆෝඞ් මහතා පැවසීය.


පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන් ඉතා දරුණු ලෙස පහරකෑමකට ලක් වූ අතර එහිදී තිසර පෙරේරාගේ ඕවර 4 දී ලකුණු 58 ක්ද, සුරංග ලක්මාල්ගේ ඕවර 4 දී ලකුණු 51 ක්ද, කසුන් රාජිතගේ ඕවර 3 දී ලකුණු 46 ක්ද රැස්කිරීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත් වූහ.


මේ සම්බන්ධයෙන් ග්‍රැහැම් ෆෝඞ් මහතා කියා සිටියේ ඒ වගේ තණතීරුවකදී ගුටි නොකා බේරී සිටීමේ ක්‍රමෝපායයන්වත් නොදැන සිටීම පිළිබඳව තමන් පුදුම වන බවයි.


පළමු විස්සයි:20 තරගයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් අතරට පැමිණීමට තිසර පෙරේරා අපොහොසත් වූ නිසා මෙම තරගයේදී ඔහුගේ ස්ථානයද අවදානමකට ලක්වී තිබේ.


ශ්‍රී ලංකා කණ්ඩායම එක් වේග පන්දුයවන්නකු සමග අද තරගයට සහභාගි වන්නේ නම් පළමු තරගයට ක්‍රීඩා නොකළ පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ. යම් හෙයකින් තිසර පෙරේරාටද කණ්ඩායමේ ස්ථානය අහිමි වන්නේ නම් එම ස්ථානය සඳහා දසුන් ශානක කැඳවීමට ඉඩ තිබේ.


සීක්කුගේ ප්‍රසන්න මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 7 කට සහභාගි වී කඩුලු 3 ක් දවාගෙන ඇති අතර දසුන් ශානක තරග 11 කට සහභාගි වී කඩුලු 4 ක් දවාගෙන තිබේ. මෙවුන් දෙදෙනාටම විස්සයි20 තරග රටාවට උචිත අයුරින් වැරෙන් පන්දුවට පහරදීමේ හැකියාව ඇති බැවින් ඔවුන් කණ්ඩායමට එක්වන්නේ නම් කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවද තවත් ශක්තිමත් වනු ඇත.


හෙට තරගයේදීද ආරම්භක පිතිකරුවන්ගේ සාර්ථකත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ  පිතිකරු ලැයිස්තුව පෙළගැස්වෙනු ඇත. පළමු තරගයේදී මුලු ලකුණු සංඛ්‍යාව 9 ක් වන විට තිලකරත්න ඩිල්ෂාන් දැවී ගිය පසු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් වෙනුවට අවසන් එක්දින තරග දෙකේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ ධනංජය ද සිල්වා පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පැමිණියේය.


පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කළ ජෝජ් බේලි පෞද්ගලික හේතුවක් නිසා ආපසු ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බැවින් හෙට තරගයේදී ඔහුගේ ස්ථානය මැතිව් වේඞ්ට හිමිවී තිබේ. ආබාධ වලට ලක්ව සිටින ඒරන් ෆින්ච් හෝ ක්‍රිස් ලයන් තවමත් සම්පූර්ණ සුවය ලබා නැති බැවින් එම වෙනස්කම හැරුණුකොට ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ අන් කිසිදු වෙනස්කමක් සිදුනොවන බවට වාර්තා වේ.


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.