TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මැක්ස්වෙල්ගේ මැජික් පිත්ත ඕස්ට්‍රේලියාව දිනවයි

දමින්ද විජේසූරිය Views 3514 9 September 2016 19:56

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දුටු තැන පහර දීම පුරුද්දක් කරගෙන සිටින ග්ලෙන් මැක්ස්වෙල් නැවත වරක් අනුකම්පා විරහිත පිතිහරඹයක යෙදෙමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සයි:20 තරගයේදීත් කඩුලු 4 ක  ජයක් කරා ගිය ඕස්ට්‍රේලියානු පිලට ජය මාවත විවර කර දුන්නේය. මෙම ජයත් සමගින් තරග 2-0 ක් ලෙසින් විස්සයි:20 තරගාවලියත් ජයගත් ඕස්ට්‍රේලියානුවෝ මාස දෙක හමාරකට ආසන්න ශ්‍රී ලංකා සංචාරය ජයග්‍රාහී ලෙසින් අවසන් කළහ.
 
ලකුණු 129 ක පහසු ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් කදිම ආරම්භයක් ලබාගත් ග්ලෙන් මැක්ස්වෙල් (66) සිය නායකයා වූ ඬේවිඞ් වෝනර් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා - ඇ. වෝනර් ප. ෆොක්නර්    22
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. වෝනර් ප. හාස්ටිංග්ස්  1
ධනංජය ද සිල්වා - ඇ. ෆෝක්නර් ප. ස්ටාක්   62
දිනේෂ් චන්දිමාල් - ඇ. සහ ප. ෆෝක්නර්  4
කුසල් මෙන්ඩිස් - ක.මු.කළා ප. සම්පා   5
චාමර කපුගෙදර - ඇ. වෝනර් ප. සම්පා    7
තිසර පෙරේරා - ඇ. හෙඩ් ප. සම්පා   0
සචිත් පතිරණ - ඇ. සහ ප. හාස්ටිංග්ස්   6
සීකුගේ ප්‍රසන්න - ඇ. කවාජා ප. ෆෝක්නර්   7
සචිත්‍ර සේනානායක - නොදැවී  7
සුරංග ලක්මාල් - නොදැවී  0
අතිරේක (නි-1, ව-5, පා-1) 7
එකතුව ඕවර 20 කදී කඩුලු 9ක් දැවී    128
කඩුලු වැටීම 
1-9 (ඩිල්ෂාන්), 2-44 (කුසල්), 3-51 (චන්දිමාල්), 4-58 (මෙන්ඩිස්), 5-76 (කපුගෙදර), 6-76 (තිසර), 7-86 (පතිරණ), 8-114 (ප්‍රසන්න), 9-125 (ධනංජය)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 4-0-32-1 ව-3
ජෝන් හාස්ටිංග්ස් 4-0-23-2 නි-1, ව-1
ග්ලෙන් මැක්ස්වෙල්  1-0-16-0  
ජේම්ස් ෆෝක්නර්  4-0-19-3  
ඇඩම් සම්පා  4-0-16-3  
මොයිසස් හෙන්රික්ස්  3-0-21-0 ව-1
ඕස්ට්‍රේලියාව
ඩේවිඞ් වෝනර් - ප. තිසර ප. පතිරණ   25
ග්ලෙන් මැක්ස්වෙල් - ප. ප්‍රසන්න   66
මොයිසස් හෙන්රික්ස් - ස්ට. කුසල් ප.පතිරණ  1
ජේම්ස් ෆෝක්නර් - දුවද්දී දැවී ගියා   1
මැතිව් වේඩ් - ඇ. චන්දිමාල් ප. ඩිල්ෂාන්   14
උස්මක් කවාජා - ක.මු.කළා ප. ඩිල්ෂාන්   6
ට්‍රැවිස් හෙඩ් - නොදැවී  9
පීටර් නෙවිල් - නොදැවී  3
අතිරේක (ව-4, පා-1) 5
එකතුව ඕවර 17.5 කදී කඩුලු 6ක්  දැවී     130
කඩුලු වැටීම 
1-93 (මැක්ස්වෙල්), 2-97 (හෙන්රික්ස්), 3-98 (වෝනර්), 4-99 (ෆෝක්නර් ), 5-113 (කවාජා), 6-120 (වේඩ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ජෝන් හාස්ටිංග්ස් 
පන්දු යැවීම
සුරංග ලක්මාල්  2-0-15-0 ව-1
සචිත්‍ර සේනානායක  4-0-36-0  
සචිත් පතිරණ  2.5-0-23-2  
තිසර පෙරේරා  1-0-19-0  
සීකුගේ ප්‍රසන්න  4-1-16-1 ව-2
ධනංජය ද සිල්වා  2-0-12-0  
තිලකරත්න ඩිල්ෂාන්  2-0-8-2  
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවූ අවසන් ඉනිම තුනේදී පන්දු පන්දු 147 කින් ලකුණු 313 ක් ලබාගැනීමට මැක්ස්වෙල් සමත් වී තිබේ. ඒ 2015 ලෝක කුසලාන තරගාවලියේදී (සිඞ්නි නුවරදී) පන්දු 53 කින් ලකුණු 102 ක්, පල්ලෙකැළේදී පන්දු 65 කින් ලකුණු 145 ක් සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දු 29 කින් ලකුණු 66 ක් වශයෙනි. මෙම ඉනිම තුනේදී හතරේ පහර 31 කින්  සහ හයේ පහර 15 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමටද මැක්ස්වෙල් අමතක නොකළේය.

සීකුගේ ප්‍රසන්න පන්දුව අතට ගැනීමත් සමගම පන්දු 13 ක් තුළදී කඩුලු 4 ක් බිඳ වැටුණ අතර ඒ අතරවාරයේදී ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි. පිතිකරු අනුපිළිවෙල වෙනස් කිරීම නිසා කඩුලු දැවී යාමෙන් අන්ද මන්ද වූ ඕස්ට්‍රේලියානුවන් මඟ හසර සොයාගැනීමට වෙහෙසුණහ. මේ අතරවාරයේදී සිය අවසන් අන්තර්ජාතික තරගයේදීත් කණ්ඩායම ජයග්‍රහණය කරා යාමට බලවත් උත්සාහයක යෙදුණු තිලකරත්න ඩිල්ෂාන් විසින් මැතිව් වේඞ් සහ උස්මන් කවාජා දෙදෙනාත් දවාගන්නා ලද නමුත් පීටර් නෙවිල් සහ ට්‍රැවිස් හෙඞ් එක්ව ඕස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

තරගයෙන් අනතුරුව ප්‍රේක්‍ෂකයන්ගේ ආචාරය පිළිගනිමින් ක්‍රීඩාංගණය වටා ගිය ඩිල්ෂාන් පෙරළා ඔවුන්ට ස්තුති කිරීමටත් අමතක නොකළේ ලෝකයේ විශිෂ්ට ක්‍රීඩකයන්ගේ සමුගැනීමේ සමාචාරය අනුගමනය කරමිනි.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමූ ජේම්ස් ෆෝක්නර් (19/3) සහ ඇඩම් සම්පා (16/3) ඕවර 20 ක් නිමාවේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 128 කට සීමා කළහ.

එක් අන්තයකින් පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දීත් තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගත් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වෙමින් පන්දු 50 කදී ලබාගත් ලකුණු 62 නොවන්නට ශ්‍රී ලංකා ඉනිම ඉතාමත් ඛේදජනක තත්ත්වයකට ඇද වැටෙන්නට තිබිණ.

ධනංජය තනිවම ලකුණු 62 ක් ලබාගනිද්දී සෙසු පිතිකරුවන් 9 දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 63 ක් පමණි. ධනංජය නොසිටියානම් කුමක් වන්නට විය හැකිද යන්න සිතාගත හැක්කේ  වි:20 අන්තර්ජතික තරගයදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ඇති අඩුම ලකුණු සංඛ්‍යාව දෙස හැරී බැලීමෙනි. එය මේ වසරේදී පැවැති ලෝක වි:20 ලෝක කුසලාන තරගාවලියේදී විශාකාපට්නම්හිදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 82 යි.
 
පන්දු 50 කට  මුහුණ දෙමින් හතරේ පහර 5 ක් ද සහිතව ලකුණු 62 ක් ලබාගත් ධනංජය පිටියෙන් ඉවත්ව යන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 125 ක් වී තිබිණ.

සිය පළමු ඕවර දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 5 කට සීමාකරගත් ඕස්ට්‍රේලියානු ෆෝක්නර් වි:20 තරග දෙකේදීම කඩුලු 4 ක් දවාගත්තේය. ෆෝක්නර් පන්දුව අතට ගන්නා සෑම අවස්ථාවකදීම කඩුල්ලක් දැවී යාම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබිණ. තමන්ගේ ඕවර හතරම එක දිගට යැවූ සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත්තේ පා දඟ පන්දු යවන්නකුට වුවද විස්සයි:20 තරග වලදී රඟන්නට භූමිකාවක් ඇති බව මොනවට පැහැදිළි කරමිනි.

තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් අන්තර්ජාතික ඉනිම එක ලකුණකට සීමා වුවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 35 ක් එක්කළ ධනංජය ද සිල්වා (20) සහ කුසල් පෙරේරා (15) පන්දු 26 කදී ලකුණු 35 ක් එක්කරමින් ශ්‍රී ලංකා පිතිහරඹයට ජීවය එන්නත් කළහ. පළමු ඕවර 5 දී ලකුණු 43 ක් ගලා ආවද තමන්ගේ පළමු ඕවරයම (ඉනිමේ 6 වැනි ඕවරය) ලකුණු 3 කට සීමා කරගත් ෆෝක්නර් කුසල් ජනිත් පිටියෙන් ඉවත් කරගත්තේය.

සිය දෙවැනි ඕවරයේදි දිනේෂ් චන්දිමාල්ගේ උඩපන්දුව රැකගත් ෆෝක්නර් ශ්‍රී ලංකා කණ්ඩායමේ චිත්ත ධෛර්යය බිමටම ඇද දැමීය. ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 10 ක් නිමා වෙද්දී ලකුණු 64 ක් පුවරුවේ තිබුණ නමුත් කඩුලු 4 ක් බිඳවැටී තිබිණ. එතැනින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත පිළිසකර කළ කිරීමට ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකා පිලේ පසුපෙළ පිතිකරුවන්ට ඉඩ නොතැබූහ.

ඩිල්ෂාන්ගේ අවසන් අන්තර්ජාතික ඉනිම කඳුළින් සෝදා හැරීමට ස්ලිප්හි සිටිමින් උඩපන්දුව රැකගත් ඕස්ට්‍රේලියානු නායක ඬේවිඞ් වෝනර් මිඞ් ඕන් හි සිට ඩීප් මිඞ් ඕෆ් වෙත දිවයමින් කළ අති විශිෂ්ට උඩපන්දු රැකීම නිසා කුසල් පෙරේරාගේ ඉනිම ලකුණු 22 කින් නිමා විය.

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.