TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සම්පා ගැන බලාපොරොත්තු රැඳවෙයි

. Views 1776 30 September 2016 19:20

අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව දැනට එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන සිටින දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් යුතු එක්දින තරගාවලියට ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ ඉහළ පෙලේ වේගපන්දු යවන්නන් නොමැතිවය. මිචෙල් ස්ටාක් සහ ජොස් හේස්ල්වුඞ් විවේක ගන්වා ඇති අතර නේදන් කූල්ටර්නයිල්, ජේම්ස් පැටින්සන්, පැට් කමින්ස්, ජේම්ස් ෆෝක්නර් සහ පීටර් සිඞ්ල් එළියේ සිටින්නේ තුවාල ලබා ඇති බැවිනි.

මෙම කාරණා හේතුවෙන් සෙන්චූරියන්හිදී අද (30 වැනිදා) පැවැත්වෙන තරගාවලියේ පළමු එක්දින තරගයට අලුත් වේගපන්දු යවන්නන් තිදෙනෙක් ඇතුලත්වී සිටිති. ඕස්ට්‍රේලියානුවන් පසුගිය අඟහාරුවාදා බිනෝනි හී දී අයර්ලන්තයට එරෙහිව කඩුලු 9 ක ජයක් අත්කර ගත් තරගයෙන් එක්දින තරග වරම් ලැබූ ඩැනියෙල් වොරල්, ක්‍රිස් ටේ‍රමේන් සහ ජෝ මෙනී සංචිතයට එක්වි ඇත්තේ දැනට ඉතිරිව සිටින අත්දැකීම් බහුල එකම වේගපන්දු යවන්නා වන ජෝන් හේස්ටිංස්ට සහයවීමටය.

කෙසේවුවත් අද ඇරැඹෙන එක්දින තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව බවට පත්වී සිටින්නේ 24 හැවිරිදි පාදඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පාය. පසුගිය පෙබරවාරියේ එක්දින තරග වරම් දිනාගත් සම්පා මේ දක්වා එක්දින තරග 13 කදී කඩුලු 25 ක්ම බිඳ දමා ඇති නමුත් තරමක් පොඩි ක්‍රීඩාංගණ ඇති  නිසාත්, සෙන්චූරියන් සහ ජොහැන්නස්බර් වැනි තැන්වල තද සුළං ඇති නිසාත් ඔහුගේ හැකියාව කෙතරම් දුරට සාර්ථක වේදැයි කිව නොහැකිය.

පසුගිය සතියේ දකුණු අප්‍රිකාවට ගොඩ බට විගස ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් කීවේ කණ්ඩායමේ ස්වභාවය අනුවත්, තරගයේ ස්වභාවය අනුවත් පන්දු යවන්නන් මාරු කිරිම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇති බවයි.

ඒ අතරම පන්දු යවන්නන්ගේ අඩුලුහුඬුකම් මැද සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ අස්වැසිල්ලට හේතුවී ඇත්තේ ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් වැලමිටේ සැත්කමකට සහභාගිවන බැවින් මෙවර එක්දින තරගාවලියට සහ ලබන නොවැම්බරයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමය. එසේ වුවත් ක්වීන්ටන් ඩි කොක්, හෂීම් අම්ලා සහ වැඩ බලන නායක ෆෆ් ඩු ප්ලෙසිස් පෙරමුණ ගත් සෑහෙන තරමේ ශක්තිමත් පිතිහරඹ පෙළ ගැස්මක් දකුණු අප්‍රිකානුවන් සතුව පවතී.

එක්දින තරගමාලාවේ දී ඔවුන්ට වැඩි වාසියක් සැලසෙනු ඇත්තේ පන්දු යැවීමේ අංශයෙනි. පූර්ණ ශාරිරික යෝග්‍යතාවයෙන් යුතුව ඬේල් ස්ටේන් නැවත කණ්ඩායමට එක්වී සිටින අතර ඔහු කගීසෝ රබාඩා සමග එක්ව නව පන්දුවෙන් ප්‍රතිවාදීන් පරීක්’ෂාවට භාජනය කරනු ඇත. ඒ අතරම නියම තුන්ඉරියව් ක්‍රීඩකයකු වීමට බලාපොරොත්තුවෙන් සිටින ජේ. පී. ඩුමිනි ද වැඩිපුර ඕවර සංඛ්‍යාවක් යැවීමට දැනටමත් බලාපොරොත්තු සහගතව බලා සිටී.

සිය අන්තිම එක්දින තරගමාලා 6 අතරින් 5 ක්ම දිනා සිටින දකුණු අප්‍රිකාව මාන බලන්නේ 6 වැනි එක්දින තරගමාලාවත් තමන් සන්තකයට ගැනීමටය. එහෙත් පන්දු යවන්නන්ගෙන් දුර්වල කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව හමුවේ දී වූවත් වැඩිපුර සැහැල්ලුවට ගැනීම හොඳ නැති බව ඔවුන් කල්තියාම දැන සිටී.


දකුණු අප්‍රිකානු සංචිතය

ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), කයිල් ඇබෙට්, හෂීම් අම්ලා. ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටන් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ඬේවිඞ් මිලර්, වේන් පානෙල්, ඒරන් පැන්ගිසෝ, අන්ඩිලි පෙහ්ලුවායෝ, ඞ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, රිලී රූසොව්, ටබ්‍රේයිස් ෂම්සි, ඬේල් ස්ටේන් සහ ඉම්රාන් තාහීර්.


ඕස්ට්‍රේලියානු සංචිතය
ස්ටීවන් ස්මිත් (නායක), ජෝර්ජ් බේලි, ස්කොට් බෝලන්ඞ්, ඒරොන් ෆින්ච්, ජෝන් හේස්ටිංස්, ට්‍රැවිස් හෙඞ්, උස්මාන් කවාජා, මිචෙල් මාෂ්. ජෝ මෙනී, ක්‍රිස් ටේ‍රමේන්. මැතිව් වේඞ්, ඬේවිඞ් වෝනර්, ඩැනියෙල් වොරල් සහ ඇඩම් සම්පා.


 - 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.