TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

නවසීලන්තය අසීරු අඩියක

. Views 1628 1 October 2016 17:34

අවසන් පිතිකරුවන් තිදෙනා එකතු කළ ලකුණු 77 නිසා සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 316 ක් ලබාගත් ඉන්දියානුවෝ කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) තරගයේ පාලනය අතට ගැනීමට සමත් වූහ.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට නවසීලන්තය ලකුණු 128 කට කඩුලු 7 ක් දැවී අසීරු අඩියත පසුවූ අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි බී. ජේ. වෙට්ලින් නොදැවී ලකුණු 12 ක්ද, ජීතන් පටේල් නොදැවී ලකුණු 5 ක්ද ලබා සිටියහ. ඒ අනුව ඉන්දියාවට වඩා නවසීලන්තය තවත් ලකුණු 188 ක් පසුපසින් සිටින අතර ඔවුන් සතුව තවත් කඩුලු 3 ක් ඉතිරිය පවතී.

ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර ඉන් 3 ක්ම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවීගිය අවස්ථා විය. මාටින් ගප්ටිල් (13), හෙන්රි නිකලස් (01) සහ මැට් හෙන්රි (00) එළෙස පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගිය පිතිකරුවෝ වූහ.

අද දින දිවා ආහාරයෙන් පසුව නවසීලන්ත පිලේ තවත් කඩුලූ දෙකක් දවාගැනීමට ඉන්දියානුවන් සමත් වූවත් වර්ෂාව නිසා තේ පානයටත් පෙර තාවකාලිකව තරගය නතර කරන විට නවසීලන්ත පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 85 ක් ලබා සිටියේය.

තරගාවලියේ පළමු තරගය ජයගැනීම නිසා මේ වන විටත් 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටින ඉන්දීය කණ්ඩායමට දෙවැනි තරගයේ මුල් දිනය නිමා වන විට කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 239 ක් පමණි. එහෙත් රිදිමන් සහා (නොදැවී 54) ලබාගත් අර්ධ ශතකය නිසා පසුපෙළ පිතිකරුවන් තරමක් ධෛර්යවත් වූ අතර අවසානයේදී ලකුණු 300 කඩයිම පසුකරගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ.

නවසීලන්ත පිලේ කඩුලූ 3 ක් ලකුණු 23 කට බිඳ වැටී තිබියදී ලූක් රොන්කි සමග එක්වූ රොස් ටේලර් ලකුණු සංඛ්‍යාව 85 දක්වා ඉහළ දැමූවත් රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රොන්කි දැවී ගියේය. ඒ සමගම වර්ෂාව පැමිණියෙන් නවසීලන්තයට තරමක සහනයක් ඇතිවූවද නවසීලන්තය ඒ වන විටත් ඉන්දියාවට වඩා ලකුණු 231 ක් පසුපසින් සිටියේය.

රොස් ටේලර් නොසැලී පිතිහරඹයේ යෙදුණද ලූක් රොන්කිට නම් වාසනාව තිබිණ. අතිරේක කී‍්‍රඩක ගෞතම් ගම්බීර් අතින් උඩපන්දුවක් ගිළිහී යන විට රොන්කි ලකුණු 16 ක් ලබා සිටියේය. රොන්කි තවත් ලකුණු 5 ක් ලබාගත්තාට පසුව ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යයි කළ ප‍්‍රබල ඉල්ලීමකින් රොන්කි ගැලවුණද ලකුණු 35 දී ජදේජා ජයගත්තේය.

 

ඉන්දියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 316
(චෙතේෂ්වර් පුජාරා 87, අජින්ක්‍යා රහනේ 77, රවිචන්ද්‍රන් අෂ්වින් 26, රිධිමන් සාහ නොදැවී 54, රවින්ද්‍ර ජදේජා 14, මොහොමඩ් සාමි 14, මැට් හෙන්රි 46/3, ට්‍රෙන්ට් බෝල්ට් 46/2, ජීතන් පටේල් 66/2)

නවසීලන්තය පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 128
(මාටින් ගප්ටිල් 13, රොස් ටේලර් 36, ලුක් රොන්කි 35, බී. ජේ. වෙට්ලින් නොදැවී 12, බුවනේෂ්වර් කුමාර් 33/5)

 

- 077


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.