TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඉන්දියානුවෝ ඉදිරියට පනිති

. Views 2040 2 October 2016 20:34

පිතිකරු ලයිස්තුවේ පහළින් පැමිණි රෝහිත් ෂර්මා (82) සමග එක්වූ රිදිමන් සහා (නොදැවී 39) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 103 ක සම්බන්ධතාව නිසා නවසීලන්තයට එරෙහිව කොල්කටාවේ ඊඞ්න් ගාර්ඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 227 ක් ලබාගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ. මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 112 ක වාසියත් සමගින් තරගයේ තුන්වැනි දිනය වන අද සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල නවසීලන්තයට වඩා ලකුණු 339 ක් ඉදිරියෙන් සිටියේය.

කෙසේ වෙතත් පළමු ඉනිමේදී කළ හපන්කම් දෙවැනි ඉනිමේදී කිරීමට ඉන්දියානු පිතිකරුවන්ට අවසර නොදුන් නවසීලන්ත පන්දු යවන්නන් වූ මැතිව් හෙන්රි සහ මිචෙල් සෑන්ට්නර් කඩුලු 3 ක් බැගින් බෙදා ගනිද්දී වමතින් වේග පන්දු යවන ටේ‍රන්ට් බෝල්ට් තවත් කඩුලු දෙකක් දවාගත්තේය.

“මේ තණතීරුවේ පන්දවට පහර දෙන එක සෙල්ලමක් නෙමේ. කිසිම ආකාරයකින් බුරුළක් ලබාගන්න බෑ” යයි තරගයෙන් අනතුරුව රෝහිත් ෂර්මා පැවසීය.

නවසීලන්ත වේග පන්දු යවන්නන් වූ ටේ‍රන්ට් බෝල්ට් සහ මැතිව් හෙන්රි දෙදෙනා එක්ව කඩුලු 5 ක් බෙදාහදාගත් අතර කඩුලු 4 කට 43 ක් ව තිබූ ලකුණු පුවරුව කඩුලු 5 ට 91 ක් ලෙස වෙනස් වූයේ විරාට් කෝලිගේ ඉනිමෙනි. පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී තරමක් නිර්භයව පන්දුවට පහර දුන් ඉන්දීය නායකයා පන්දු 65 කින් ලකණු 45 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 5 කට දැවී ගියත් රෝහිත් ෂර්මා සහ රිදිමන් සහා එක්ව ඉන්දීය පිලේ වාසිය ලකුණු 300 න් ඉහළට ඔසවා තැබූහ.


ඉන්දියාව - පළමු ඉනිම 316
නවසීලන්තය -පළමු ඉනිම 204
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 8 ක් දැවී 227

(ෂිකාර් ධවාන් 17, විරාට් කෝලි 45, රෝහිත් ෂර්මා 82, රිදිමන් සහා 39, ටේ‍රන්ට් බෝල්ට් 28/2, මැතිව් හෙන්රි 44/3, මිචෙල් සෑන්ට්නර් 51/3)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.