TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ෂම්සි - ඇබට් ඕස්ට්‍රේලියාව වනසති

. Views 2835 10 October 2016 14:10

සංචාරක ඕස්ට්‍රේලියානු ඉනිම එහෙම පිටින්ම සෝදා පාළුවට ලක් කළ සත්කාරක දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පෝර්ට් එලිසබෙත් නුවර සාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගයේ දීත් කඩුලු 6 ක ජයක් කරා යාමට මාවත විවර කරගත්හ. ඒ සමගම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 4-0 ක් ලෙසින් ඉදිරියට ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම දැන් සැරසෙන්නේ සංචාරකයන්ට සම්පූර්ණයෙන්ම සුද්දයක් දීමටය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මුහුදු සුළං තදින් හමන ශාන්ත ජොර්ජ් තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. වෙනස්කම් 4 ක් සමග ඊයේ තරගයට එක්වූ සත්කාරක පිලේ කයිල් ඇබට් සහ ටබ්රිස් ෂම්සි එක්ව ගෙන දුන් පීඩනය මුහුදු සුළඟට වඩා බරපතල එකක් වීය.

ඉනිම ආරම්භ කළ ඬේවිඞ් වෝනර්ට සහ ඒරන් ෆින්ච්ට හුස්මක් කටක් ගන්නට ඉඩ නොතැබූ ඇබට් තුන්වැනි පන්දුවෙන්ම ෆින්ච්ගේ කඩුල්ල ගලවා දැමූ අතර සිය දෙවැනි ඕවරයේ දී වෝනර්ගේ කඩුල්ලත් බිඳ දමන විට ඕස්ටේ්‍රලියානුවන්ගේ ඉනිම දිස්වූයේ කඩුලු 2 කට ලකුණු 9 ක් ලෙසිනි. ඊට තවත් ලකුණු 3 ක් එක්වෙද්දී ජෝර්ජ් බේලි එක් ලකුණකට දැවී ගියේ ඞ්වේන් ප්‍රිටෝරියස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

මුළු ලකුණු සංඛ්‍යාව 49 ක්ව තිබියදී නායක ස්ටීවන් ස්මිත් කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකර ගත් ෂම්සි එම ඕවරයේදීම ට්‍රැවිස් හෙඞ්වත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට ආ විගසම ආපසු යැවීමෙන් ඕස්ට්‍රේලියානුවන්ගේ ඉනිම බිඳ වැටෙන්නට පටන් ගත්තේය. කෙසේවුවත් මිචෙල් මාෂ් සහ මැතිව් වේඞ් එක්ව ඉනිම පිළිසකර කරමින් මුලු ලකුණු සංඛ්‍යාව 111 දක්වා ඉහළ නොදැමුවානම් පරාජය ඊටත් අන්තය.

හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක අගනා සම්බන්ධතාවක්ද ගොඩ නැගූ මේ දෙදෙනා අර්ධ ශතක වාර්තා කරමින් සංචාරකයන්ගේ ඉනිමට තරමක ජීවයක් ගෙන දුන්හ. එහෙත් දෙදෙනාගේ දැවීයාමෙන් පසුව අගපෙළ ඉතා ඉක්මනින් බිඳ දැමූ ඇබට් සහ ෂම්සිට ඒරන් පැන්ගිසෝ ද අගනා සහයක් ලබා දුන්නේය.
මේ තිදෙනාම ඊයේ තරගයට අලුතින් එක්වී සිටීම විශේෂත්වයකි. ඔවුන් තිදෙනාට අමතරව ෆර්හාන් බෙහාර්ඩීන් ද කණ්ඩායමට එක් ව සිටියේ  ඬේවිඞ් මිලර්, ඬේල් ස්ටේන්, ඉම්රාන් තාහීර් සහ කගීසෝ රබාඩා වැනි පළපුරුදු ක්‍රීඩකයන්ට විවේකය ගෙන එමිනි.

ලකුණු 168 ක පහසු ඉලක්කයක් හඹා ගිය සත්කාරකයන්ට ඉනිම ආරම්භයේ සිටම පීඩනයක් දුන් ක්‍රිස් ටි්‍රමේන් මුලු ලකුණු සංඛ්‍යාව 29 ක් වෙද්දී හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩි කොක් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය. එහෙත් නායක ෆෆ් ඩු ප්ලෙසිස් සහ ජේ.පී. ඩුමිනි එක්ව ඉනිම ගොඩ දැමූවේ තුන්වැනි කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවක් ද එක් කරමිනි.

ඩුමිනිගේ දැවීයාමෙන් පසුව රිලී රුසෝව් හා එක්ව සිවුවැනි කඩුල්ලට තවත් ලකුණු 55 ක් එක් කළ ඩු ප්ලෙසිස් අගනා අර්ධ ශතකයක් ලැබීමෙන් පසුව දැවීයද්දී ජයග්‍රහණයට අඩුවී තිබුණේ ලකුණු 18 ක් පමණි.


ඕස්ට්‍රේලියාව- ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 167
(ස්ටීවන් ස්මිත් 21, මිචෙල් මාෂ් 50, මැතිව් වේඞ් 52, ක්‍රිස් ටි්‍රමේන් නොදැවී 23, කයිල් ඇබට් 40/4, ටබ්රිස් ෂම්සි 36/3, ඒරන් පැන්ගිසෝ 17/2)

දකුණු අප්‍රිකාව ඕවර 35.3 කදී - කඩුලු 4ක් දැවී ලකුණු 168
(ෆෆ් ඩු ප්ලෙසිස් 69, ජේ.පී. දුමිනි 25, රිලී රුසෝව් නොදැවී 33, ක්‍රිස් ට්‍රිමේන් 48/2)

 

 - 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.