TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඉන්දියාව යළිත් පළමු තැනට

. Views 1865 11 October 2016 20:23

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දෝර්හි හුල්කර් කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 321 ක් ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ඒ අනුව නැවතත් වරක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය කණ්ඩායමට හැකිවූ අතර තරගයෙන් අනතුරුව ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත්වන කණ්ඩායමට ලබාදෙන සෙංකෝලය අන්තර් ජාතික කි‍්‍රකට් සභාව වෙනුවෙන් සුනිල් ගවස්කාර් මහතා විසින් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට ලබාදෙන ලදි.

ජයග‍්‍රණය සඳහා ලකුණු 475 ක ඉක්කයක් හඹාගිය නවසීනලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 153 කට සීමා කිරීමට රවිචන්ද්‍රන් අශ්වින් ප‍්‍රමුඛ ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ.

නවසීලන්ත දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 59 කට කඩුලූ 7 ක් දවාගත් අතර ඉන් 4 ක්ම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගිය අවස්ථා විය. එය ඔහුගේ ඉනිමක හොඳම පන්දුයැවීම ලෙස වාර්තා අතරට එක් විය.

මෙම තරගයේදී සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දුයැවීමද ප‍්‍රදර්ශනය කළ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 140 කට කඩුලූ 13 ක් දවාගත්තේ පළමු ඉනිමේදී ලකුණු 81 කට දවාගත් කඩුලූ 6 ත් සමගිනි.

පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවායෑමට පෙර දැවී යාම නවසීලන්තයට විශාල පාඩුවක් විය. නවසීලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොස් ටේලර් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් රැුස්කළ අතර බී. ජේ. වොට්ලිං ලකුණු 23 ක් ලබා ඉනිම නිමාවන තුරු නොදැවී සිටියේය.

සිව්වැනි දිනය (11 වැනිදා) සඳහා තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 18 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම, දිවා ආහාරයෙන් අනතුරුව ලකුණු 216 කට කඩුලූ 3 දැවී සිටි අවස්ථාවේ ඉනිම අත්හිටුවා නවසීලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

අද දිනයේදී සිය 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත් චෙතේෂ්වර් පුජාරා නොදැවී ලකුණු 101 ක් රැුස්කළ අතර ඊට හතරේ පහර 9 ක් ඇතුළත් විය. පන්දු 56 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළ ගෞතම් ගම්භීර් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පුජාරාට අනගි සහයක් දුන්නේය.

ඉන්දියාව පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 557
(ගෞතම් ගම්භීර් 29, චෙටේස්වාර් පුජාරා 41, විරාට් කෝලි 211, අජින්ක්‍යා රහනේ 188, රෝහිත් ෂර්මා නොදැවී 51, රවීන්ද්‍ර ජදේජා නොදැවී 17, ටෙ‍්‍රන්ට් බෝල්ට් 113/2, ජීටන් පතෙල් 120/2)

නවසීලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 299
(මාටින් ගප්ටිල් 72, ටොම් ලෙතම් 53, ජේම්ස් නීෂම් 71, බී. ජේ. වොට්ලිං 23, මිචෙල් සෑන්ට්නර් 22, ජීතන් පතෙල් 18, මැතිව් හෙන්රි 15, රවිචන්ද්‍රන් අශ්වින් 81/6, රවීන්ද්‍ර ජදේජා 80/2)

ඉන්දියාව දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 216
(මුරලි විජේ 19, ගෞතම් ගම්භීර් 50, චෙටේස්වාර් පුජාරා නොදැවී 101, විරාට් කෝලි 17, අජින්ක්‍යා රහනේ 23, ජීටන් පතෙල් 56/2)

නවසීලන්තය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 153
(මාටින් ගප්ටිල් 29, කේන් විලියම්සන් 27, රොස් ටේලර් 32, බී. ජේ. වොට්ලිං නොදැවී 23, රවිචන්ද්‍රන් අශ්වින් 59/7, රවීන්ද්‍ර ජදේජා 45/2)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.