TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

යුනිස් - මිස්බා පැරණි වයින් වල රස කියාදෙති

. Views 1964 22 October 2016 13:49

පැරැණි වයින් වඩාත් රස බැව් කොදෙව් ක්‍රීඩකයන්ට අපූරුවට කියා දුන් පාකිස්තානයේ යූනිස් ඛාන් සහ නායක මිස්බා උල් හක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශේක් සයිඞ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට පාකිස්තානු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 304  දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූහ.

මේ පරිණත පිතිකරුවන් දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 175 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර ඒ අතරින් කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ යූනිස් ඛාන් තරගයට එක්වූයේ ඩෙංගු උණ වැළඳී සති කිහිපයක්ම කණ්ඩායමෙන් ඉවත්වී සිටීමෙන් පසුවය.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් පාකිස්තානයට ආරම්භය කිසිසේත්ම සුබ එකක් නොවීය. ෂැනොන් ගේබි්‍රයල්ගේ සහ දේවේන්ද්‍ර බිෂූගේ පන්දු හමුවේ කඩුලු බිඳ දමාගත් සැමි අස්ලම් ලකුණු 6 කටත්, අසාර් අලී ලකුණු නොලබාත් දැවීයාමෙන් පසුව සත්කාරකයෝ අන්දමන්ද වූහ.

එහෙත් අසාඞ් ශෆීක් සමග එක්වූ යූනිස් ඛාන් පාකිස්තානු ඉනිම 129 දක්වා ඉහළ දැමුවේ තුන්වැනි කඩුල්ලට ලකුණු 87 ක සම්බන්ධතාවක්ද ගොඩ නඟමිනි.

ඉතාමත් හොඳින් පන්දුවට මුහුණු දෙමින් සිටි අසාඞ් ශෆීක් ගේබි්‍රයල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයාමෙන් පසුව පිටියට පැමිණි නායක මිස්බා උල් හක් එන එන කොදෙව්  පන්දු යවන්නාට දඬුවම් කරමින් සිටි සිය සගයාට දුන්නේ අමිල සහයෝගයකි.

මේ දෙදෙනා එක්ව පාකිස්තානු ඉනිම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට තල්ලු කළේ සිවුවැනි කඩුල්ලට ලකුණු 175 ක අනගි සම්බන්ධතාවක් ගොඩ නගමිනි.

ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ පන්දුවකට රොස්ටන් චේස් වෙත දුන් උඩපන්දුවකින් යූනිස් ඛාන් දැවීයද්දී පන්දු 205 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමග සිය 33 වැනි ටෙස්ට් ශතකය වාර්තා පොතට ඇතුළත් කිරීමට මෙම ජ්‍යෙෂ්ඨ පිතිකරුවා සමත් වී සිටියේය.

අවුරුදු 39 යේ එළිපත්තේ සිටින මේ ජ්‍යෙෂ්ඨ දකුණත් පිතිකරුවා අද සිය තාරුණ්‍යයේ දී මෙන්ම ඉවක් බවක් නොමැතිව කොදෙව් පන්දු යවන්නන් හඹා යාම කැපී පෙනුණි. මෙයින් වසර 16 කට ඉහතදී, ශ්‍රී ලංකාවට එරෙහිව රාවලිපිණ්ඩිහිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ යුනිස් ඛාන් එහිදීද දෙවැනි ඉනිමේ ශතකයක් ලබාගත්තේ මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පිතිකරුවන්ගේ සමාජයට ඇතුළත් වෙමිනි. නිතරම සිනා මුසු මුහුණින් සිටින, දැඩි ඉස්ලාම් භක්තිකයකු වන යුනිස් ඛාන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අතර ජනප්‍රියව ඇත්තේ ‘සිනා ඛාන්’ ලෙසිනි.

පිටියේ ආලෝක තත්තවය මඳවීම නිසා දවසේ නියමිත ඕවර ප්‍රමාණයට ඕවර 6 ක් අඩුවෙන් තරගය නිමාවට පත්වනවිට ඔහුට අගනා සහයක් ලබා දෙමින් සිටි 42 හැවිරිදි නායක මිස්බා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ශතකයට ලකුණු 10ක් අඩුවෙනි.


පාකිස්තානය පළමු ඉනිම - කඩුලු 4ක් දැවී ලකුණු 304 යි.
(අසාඞ් ශෆීක් 68, යූනිස් ඛාන් 127, මිස්බා උල් හක් නොදැවී 90, ෂැනොන් ගේබි්‍රයල් 43/2, දේවේන්ද්‍ර බිෂූ 92/1, ක්‍රෙග් බ්‍රැත්වේට් 36/1)


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.