TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පාකිස්තානුවෝ තවත් සුද්දයකට සූදානම් වෙති

. Views 1952 29 October 2016 21:21

විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකේදීම තරග 3-0 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල සම්පූර්ණයෙන්ම සුද්ද කළ පාකිස්තානය සිය නොමසුරු සත්කාරකත්වය මැද තුන්වැනි වරටත් සංචාරකයන්ව එහෙම පිටින්ම සුද්ද කිරීමේ අරමුණින් හෙට (30) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා  ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි. හෙට ආරම්භ වන්නේ දෙපිල අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයයි.

මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු පිල ඉදිරියේ දැනටමත් තරග 2-0 කින් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වී සිටින කොදෙව් පිලේ අරමුණ වී ඇත්තේ හෙට ඇරැඹෙන ටෙස්ට් තරගය ජයගෙන සැනසිලිදායක මානසිකත්වයෙන් නැවත ගෙදර යාමටය. අඩුතරමේ තරගය පරාජය නොවී සිටීමට වත් කොදෙව්වන්ට හැකිවුවහොත් එයද සැනසීමක් වනු ඇත.

එසේ වුවත් වසර 2014 දී නවසීලන්තයට පරාජය වූවාට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ප්‍රතිවාදින් හමුවේ ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති පාකිස්තානය හෙට තරගයේ දී අබිබවා යාමට කොදෙව් පිල සමත්වනු ඇතැයි මෙතෙක් කිසිදු අනාවැකියක් පළවී නැත. හැම අනාවැකියකින්ම කියැවෙන්නේ කොදෙව් පිලට හිස් අතින්ම නැවත ගම්බිම් කරා යාමට සිදුවනු ඇති බවයි.

ජයපරාජය කෙසේ වුවත් හෙට ඇරැඹෙන්නේ මිස්බා උල් හක් නායකත්වය දරන 49 වැනි ටෙස්ට් තරගයයි. එය ටෙස්ට් තරග 48 කදී කණ්ඩායම මෙහෙයවමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක දී නායකත්වය දැරූ ක්‍රීඩකයා ලෙස වාර්තාපොතේ ඉදිරියෙන්ම සිටි ඉම්රාන් ඛාන් අභිබවා යාමකි.  

පාකිස්තාන ඉදිරිපෙළ පිතිකරු හමුදාවේ අසාර් අලී, සමි අස්ලාම්, මිස්බා උල් හක්, යූනිස් ඛාන් සහ අසාඞ් ශෆීක් සියලු දෙනාම ලකුණු අතරේ සිටිති. මෙතෙක් ප්‍රතිවාදීන්ගේ කඩුලු 17 ක්ම උදුරා ගනිමින් කොදෙව්වන්ට දැඩි හිසරදයක් බවට පත්වී සිටින යසීර් ෂා මෙන්ම වහාබ් රියාස්, මොහොමඞ් ආමීර්, රහත් අලී, සොහේල් ඛාන් සහ මොහොමඞ් නවාස් පන්දු යවන්නන් වශයෙන් අකුරටම රාජකාරිය ඉටු කරමින් සිටිති. එබැවින් සත්කාරකයන්ගෙන් එල්ලවන පීඩනය හමුවේ නොසැලී සිටීම කොදෙව්වන්ට ලෙහෙසි වන්නේ නොවේ.  

පාකිස්තානයට සාපේක්ෂව බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශක්තිමත්භාවය අස්ථාවර එකක් වූවත් ඔවුන් පරාජය කිරිමට ඉස්පාසුවක් නොමැතිව බලා සිටින පාකිස්තානුවන්ට පසුගිය තරග 2 දීම කොදෙව් පිල පරාජයෙන් බේරීමට දුන් සටනත් අමතක නොවේ.

ඩැරන් බ්‍රාවෝ, ජර්මේන් බ්ලැක්වුඞ්, ක්‍රෙග් බ්‍රැත්වේට් සහ මාලන් සැමුවෙල්ස්ට හෙට තරගයේදී පැවැරී ඇත්තේ බරපතල වගකීම් සමුදායකි. සමස්ත කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ බලවේගය ලෙස ඔවුන් හෙට තරගයේදි රැස් කරන ලකුණු සංඛ්‍යාව මත පන්දු යැවීමේ සගයන්ගේ ආත්ම විශ්වාසය රඳා පවතිනු ඇත.


පාකිස්තානු කණ්ඩායම
මිස්බා උල් හක් (නායක), අසාඞ් ශෆීක්, අසාර් අලී, ඉම්රාන් ඛාන්, සැමි අස්ලාම්, සර්ෆ්‍රාස් අහමඞ්, සොහේල් ඛාන්, වහාබ් රියාස්, යසීර් ෂා, මොහොමඞ් නවාස්, යූනිස් ඛාන්.


කොදෙව් කණ්ඩායම
ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රෙග් බ්‍රැත්වේට්, ලියොන් ජොන්සන්. ඩැරන් බ්‍රාවෝ, මාලන් සැමුවෙල්ස්, ජෙරමින් බ්ලැක්වුඞ්, රොස්ටන් චේස්, ෂැනොන් ගේබ්්‍රයෙල්, දේවේන්ද්‍ර බිෂූ, ශේන් ඩවුරිච්, ඇල්සාරී ජොශප්.


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.