TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කොදෙව්වෝ පාකිස්තානු බලකොටුව සොළවති

. Views 3181 2 November 2016 21:20

වසර ගණනාවක් පුරා සිය දෙවැනි නිවහන බවට පත්කර ගත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෑම තණතීරුවකම සිය ආධිපත්‍යය හිතේ හැටියට පැතිර වූ පාකිස්තානයේ බල පරාක්‍රමයට අභියෝග කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ සාජා නුවර දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (2 වැනිදා) සත්කාරකයන්ගේ දෙවැනි ඉනිම ලකුණු 208 කට සීමා කළහ. එපමණකින් නොනැවතුණු කොදෙව්වෝ ටෙස්ට් තරගයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 153 ක් දක්වා අඩු කරගත්තේ මේ වන විටත් පරාජය වූ තරගාවලියේ සැනසුම් සුසුමක් හෙළිමේ අවස්ථාවක් පිළිබඳ සිහින දකිමිනි.

කොදෙව් ටෙස්ට් ඉතිහාසයේ ලකුණු 200 ට වඩා අඩුවෙන් ලැබුණු ඉලක්ක 56 කින් 51 ක්ම සපුරාගෙන සිටින හෙයින් මෙම ඉලක්කය කරා යාම බැලූ බැල්මට එතරම් අපහසු එකක් ලෙස නොපෙනුණි. එහෙත් පරාජය බාරගැනීමේ කිසිදු සූදානමක් නැති පාකිස්තානුවන් අද දිනය නිමාවනවිට තරගය දෙපිලටම විවෘත එකක් බවට පත් කරමින් සංචාරකයන්ගේ කඩුලු 5 ක් ලකුණු 114 කට බිඳ දැමූහ.

කඩුලු 5 ක් අතැතිව සිටින කොදෙව් පිලට මේ ඓතිහාසික ජයග්‍රහණය අත්කරගැනීම සඳහා අවශ්‍ය වී ඇත්තේ තවත් ලකුණු 39 ක් පමණි. කොදෙව් පිලේ බලාපොරොත්තු රඳවා තබාගෙන සිටින ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ශේන් ඩවුරිච් කඩුල්ලේ රැඳී සිටිති.

පෙරේදා පස්වරුවේ තරගය නවත්වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටි පාකිස්තානු දෙවැනි ඉනිම අද තේ පානයට පෙර නිමාවට පත් කිරීමේ පුරෝගාමීයා වූ කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් සිය තරග 20 ක ටෙස්ට් දිවියේ පළමුවතාවට කඩුලු 5 ක් දවාලමින් සියලු ගෞරව ප්‍රශංසාවල එකම හිමිකාරයා බවට පත්විය.

අද උදෑසන පිටියට පිවිසි අසාර් අලී සහ සර්ෆ්‍රාස් අහමඞ් පස්වැනි කඩුල්ලට ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූවත් දේවේන්ද්‍ර බිෂූගේ පන්දුවකින් සර්ෆ්‍රාස් දැවීයාමෙන් පසුව සෙසු පිතිකරුවන්ගෙන් අසාර් අලීට කිසිදු සහයක් නොලැබිණ.

මොහොමඞ් නවාස් පමණක් අසාර් අලී සමග එක්ව යන්තම් 6 වැනි කඩුල්ලට ලකුණු 41 ක් එකතු කිරීමට සමත්වූවත් මුලු ලකුණු සංඛ්‍යාව 175 ක්ව තිබියදී ඔහුගේ දැවීයාමෙන් පසුව ඉතිරි කඩුලු 4 ම ලකුණු 33 ක් ඇතුළත බිඳ වැටුණේ හෝල්ඩර්ට කඩුලු 5 සම්පූර්ණ කර දෙමිනි.


පාකිස්තානය පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 281 යි.
කොදෙව් පිල පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 337 යි.
පාකිස්තානය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 208යි

(අසාර් අලී 91, සර්ෆ්‍රාස් අහමඞ් 42, ජේසන් හෝල්ඩර් 30/5, දේවේන්ද්‍ර බිෂූ 46/3)

කොදෙව් පිල දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී ලකුණු 114 යි
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවි 44, ශේන් ඩවුරිච් නොදැවී 36, වහාබ් රියාස් 30/2, යසීර් ෂා 30/3)


- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.