TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

විනිසුරු මතභේද ඇමති විසඳයි

. Views 1482 18 November 2016 17:28

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගම් දෙක තුනක් තිබීමෙන් ක්‍රීඩාවට වන හානිය වලක්වා ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම විනිසුරු සංගම් දෙක එක සංගමයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (18 දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකාවේ පැරණිතම විනිසුරුවන්ගේ සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වසර 72 ක් පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි. එම සංගමයේ සාමාජිකත්වය දැරූ ජාත්‍යන්තර විනිසුරුවන් රැසක්ම සිටින අතර මීට වසර කිහිපයකට ඉහතදී එහි තනතුරු සඳහා ඇති වූ විරසකයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටි ජාත්‍යන්තර විනිසුරුවරයකු විසින් වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය පිහිටුවාගන්නා ලදි.

මෙම සංගම් දෙකේම විනිසුරුවරු ප්‍රධානතම ක්‍රිකට් තරග විනිශ්චය කරගෙන යන නමුත් මව් සංගමය ලෙසට හැදින්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සංඛ්‍යාව 660 කට වැඩි බව සඳහන් වේ. එම සංගමයෙන් වෙන්වී ගිය පිරිසක් විසින් සාදා ගන්නා ලද වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සංඛ්‍යාව 75 කට ආසන්න බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙවන් සංගම් දෙකක් තිබීමෙන් විනිසුරුවන් අතර කඹ ඇදිල්ලක් නිර්මාණය වී ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයාගේ මතය වී තිබේ. එබැවින් අද පැවැත්වෙන රැස්වීමේදී වසර ගණනාවක් පුරා දෙපසට වී සිටි ක්‍රිකට් විනිසුරුවන් මව් සංගමයට ගෙන ඒමට ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත් වීමට සූදානම් වන බවක් වාර්තා වේ.

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.