TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශ්‍රී ලංකාව අවසන් තරගයට

Views 5746 23 November 2016 14:01

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බුලවායෝ හිදී පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් ලබාගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල අද (23 වැනිදා) සමත්විය.


අනිද්දා පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් පිල සහ සිම්බාබ්වේ පිල අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම ශ්‍රී ලංකා පිල සමගින් අවසන් තරගයේදී මුණගැසෙනු ඇත.


කොදෙව් පිලට අවසන් ඕවරයේදී ජයග්‍රහණය සදහා ලකුණු 10 ක් අවශ්‍යවූ අතර ලබාගැනීමට හැකිවූයේ ලකුණු 8 ක් පමණී. අවසන් ඕවරය නුවන් ප්‍රදීප් යැවූ අතර පළමු පන්දුවට ලකුණක් ලබාගනිමින් ජේසන් හෝල්ඩර් පැතිමාරූවූ විය. තෙවැනි පන්දුවට හයේ පහරක් ගැසීමට සුලෙයිමාන් බෙන් සමත්වුවද සිව්වැනි පන්දුවේදී ලකුණක් ලබාගැනීමට ඔහුට අවස්ථාවක් හිමිනොවීය. පස්වැනි පන්දුවේදී ගැසූ පහරකට ධනංජය සිල්වා අතට උඩපන්දුවක් යෑමෙන් සුලෙයිමාන් බෙන් දැවී ගියේය. අවසන් පන්දුවට මුහුණදුන් ජේසන් හෝල්ඩර්ට ජයග්‍රහණය සදහා ලකුණු 3 ක් ලබාගැනීමට අවශ්‍යවුවද නුවන් ප්‍රදීප් යැවූ යෝකර් පන්දුවට පහරක් ගැසූ හෝල්ඩර්ට ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණී.


එවින් ලුවිස්ගේ දැවීයාමත් සමගින් ජයග්‍රහණය සදහා ජේසන් හෝල්ඩර් කණ්ඩායම මෙහෙයවුවද අවසන මොහොතේ ජයග්‍රහනය ගිලිහී ගියේය. පන්දු 46 කට මුහුණදුන් ජේසන් හෝල්ඩර් හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කළේය.


ප්‍රවේගාරී පිතිහරඹයක නිරතවූ එවින් ලුවිස් තම මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ලකුණු 148 ක් ලබාසිටියදී කුසල් මෙන්ඩිස් විසින් දුවද්දී දැවීයාමකට හසුකරගනිමින් දවාගැනීමට සමත්වීමත් සමගින් ශ්‍රී ලංකා පිලට සැනසිලිදායක වාතාවරණයක් ඇතිවිය.


ශායි හෝප් සහ ජෝනතන් කාටර් දුවද්දී දැවීයාමට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නෝ සමත්වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 198 ට කඩුලු 4 ක් ලෙස සටහන්විය.

 

ශ්‍රී ලංකාව 
ධනංජය ද සිල්වා - ඇ සහ ප. ක්‍රේග් බ්‍රැත්වේට් 58
කුසල් පෙරේරා - ප. ගේබ්‍රියල් 7
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා ප. හෝල්ඩර් 94
කුසල් මෙන්ඩිස් - ඇ. හෝප් ප. නර්ස් 94
ශෙහාන් ජයසූරිය - ප. කාලෝස් බ්‍රැත්වේට් 9
උපුල් තරංග - ඇ. නර්ස් ප. හෝල්ඩර් 26
අසේල ගුණරත්න - ඇ. පවෙල් ප. හෝල්ඩර් 6
සචිත් පතිරණ - නොදැවී 24
අතිරේක (පා-7, ව-5) 12
එකතුව ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී     330
කඩුලු වැටීම 
1-18 (පෙරේරා), 2-123 (ද සිල්වා), 3-230 (දික්වැල්ල), 4-258 (ජයසූරිය), 5-277 (මෙන්ඩිස්), 6-291 (ගුණරත්න), 7-330 (තරංග)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
නුවන් ප්‍රදීප්‍, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්.
පන්දු යැවීම
ශැනන් ගේබ්‍රියල් 5-0-29-1 ව-1
ජේසන් හෝල්ඩර් 10-0-57-3  
කාලෝස් බ්‍රැත්වේට් 7-0-64-1 ව-2
ඈෂ්ලී නර්ස් 8-0-58-1  
ක්‍රේග් බ්‍රැත්වේට් 10-0-56-1 ව-1
සුලෙයිමාන් බෙන් 10-0-59-0 ව-1
බටහිර ඉන්දීය කොදෙව්
ජොන්සන් චාල්ස් - ඇ. තරංග ප. ලක්මාල් 26
එවින් ලුවිස් - දුවද්දී දැවී ගියා 148
ක්‍රේග් බ්‍රැත්වේට් - ප. ගුණරත්න 16
ශායි හෝප් - දුවද්දී දැවී ගියා 25
ජෝනතන් කාටර් - දුවද්දී දැවී ගියා 6
රොව්මන් පවෙල් - ක.මු.කළා ප. කුලසේකර 10
ජේසන් හෝල්ඩර් - නොදැවී 45
කාලෝස් බ්‍රැත්වේට් - ප. කුලසේකර 19
ඈෂ්ලී නර්ස් - ඇ. දික්වැල්ල ප. ලක්මාල් 2
සුලෙයිමාන් බෙන් - ඇ. ද සිල්වා ප. ප්‍රදීප් 11
ශැනන් ගේබ්‍රියල් - නොදැවී 0
අතිරේක (පා-6, ව-15) 21
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී     329
කඩුලු වැටීම 
1-63 (චාල්ස්), 2-133 (ක්‍රේග් බ්‍රැත්වේට්v), 3-175 (හෝප්), 4-198 (කාටර්), 5-224 (පවෙල්), 6-262 (ලුවිස්), 7-307 (කාලෝස් බ්‍රැත්වේට්), 8-312 (නර්ස්), 9-328 (බෙන්)
පන්දු යැවීම
නුවන් කුලසේකර 10-0-73-2 ව-3
සුරංග ලක්මාල් 10-0-67-2 ව-3
ශෙහාන් ජයසූරිය 4-0-20-0 ව-1
නුවන් ප්‍රදීප් 10-0-65-1 ව-3
සචිත් පතිරණ 7-0-51-0  
අසේල ගුණරත්න 9-0-47-1 ව-1
ආරම්භයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවර 10 ක් නිමා වන විට ඕවරයකදී ලකුණු 7.90 ක් ලෙස සටහන් වී තිබූ අතර ඕවර 25 අවසානයේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 6.04 ක් ලෙස අඩුකර ගැනීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.


දෙවැනි කඩුල්ල සදහා පැවැති ලකුණු 70 ක සම්බන්ධතාවය බිඳ හෙළීමට අසේල ගුණරත්න සමත්වූ අතර ක්‍රේග් බ්‍රැත්වේට් දැවීයන විටදී රැස්කර තිබුණේ ලකුණු 16 ක් පමණි.


ඕවර 8 කදී ලකුණු 63 ක් රැස්කර සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවකට උඩපන්දුවක් රැකගත් උපුල් තරංග ලකුණු 26 ක් ලබාසිටි ජෝන්සන් චාල්ස්ගේ ඉනිම අවසන් කරනවිට පළමු කඩුල්ල සදහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් පවත්වා තිබුණි.


ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වන නුවන් කුලසේකර සහ සුරංග ලක්මාල් දැඩි පහර කෑමකට ලක්ව සිටින අවස්ථාවක පන්දු රකින්නන්ගේ සහයෝගය නොලැඹීම කණගාටුවට කරුණකි. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටින එවින් ලුවිස් විසින් සුරංග ලක්මාල් එවූ පන්දුවකට කට් පහරකින් බැක්වර්ඞ් පොයින්ට්හී පන්දු රකිමින් සිටි සචිත් පතිරණ අතට ලබාදුන් උඩපන්දුව අතහරින විට කිසිවකු නොදැවී ලකුණු 39 ක් රැස්කිරීමට කොදෙව්වෝ සමත්වූහ. උඩපන්දුව අතාරින විටදී එවින් ලුවිස් ලකුණු 26 ක් ලබාසිටියේය.


කොදෙව් ඉනිමේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී එවින් ලුවිස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීම සදහා නුවන් කුලසේකර විසින් ඉල්ලීමක් කළද එය ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කළද ශ්‍රී ලංකා පිලේ නායක උපුල් තරංග විසින් විතිව් ක්‍රමය ඉල්ලා සිටියද පුනරූපණ නැරඹීමෙන් පසුව තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණයට එකඟ වෙමින් නොදැවී යාමක් ලෙස සනිටුහන් කළේය.


එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා පොතට එක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී කොදෙව් පිලට එරෙහිව ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 1995 සාජාහි පැවැති සිංගර් කුසලාන තරගාවලියේදී ලකුණු 329 ක් ලබාගැනීමයි.


ඕවර 40 ක් අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 240 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් ඕවර 10 දී කඩුලු 4 ක් දැවී ලකුණු 90 ක් රැස්කිරීමට සමත්වූහ. අවසන් ඕවරයේ අවසන් පන්දුවේදී උපුල් තරංගගේ කඩුල්ල දවාගත් ජේසන් හෝල්ඩර් ලකුණු 57 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේය.


අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණු ලබාගැනීම වේගවත් කළ නායක උපුල් තරංග (26) සහ සචිත් පතිරණ (නොදැවී 24) හත්වැනි කඩුල්ල සදහා පන්දු 26 කදී ලකුණු 39 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.


අද දින සිය මංගල ශතකය පෙනි පෙනී දැවීගිය දෙවැනි අවාසනාවන්ත පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්විය. ඈෂ්ලී නර්ස්ගේ පන්දුවක් පිට ඉන්නෙන් ඈතට ඇදී යද්දී එය හඹා ගොස් පහරක් ගැසීමට උත්සාහ කළ මෙන්ඩිස් කඩුලු රකින ශේයි හෝප් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 94 දී දැවී ගියේය. දැවීයාමට පෙර මුහුණ දන් පන්දු දෙකටම අගනා හයේ පහර දෙකක් ගැසූ මෙන්ඩිස් පන්දු යවන්නාට මහත් හිසරදයක් ව සිටියේය.


සිය 16 වැනි එක්දින තරගයේදී පන්දු 73 කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් හතරේ පහර 7 කින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම අලංකාර කරමින් තමාගේ හොඳම ඉනිම වාර්තා කළේය.  


ශතකය පෙනි පෙනී සිටියදී ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට ෆ්ලික් කිරීමට යාමෙන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 94 කට දැවීයනවිට පන්දු 106 කට මුහුණදී හතරේ පහර හයකින් සහ හයේ පහරකින් ඉනිම සරසා තිබිණ. ප්‍රධාන විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතා විසින් නිරෝෂන් දික්වැල්ල දැවී ගිය බවට තීරණය කළේය. පිතිකරුවා විතීවි අවස්ථාව ඉල්ලා සිටියද ප්‍රධාන විනිසුරු දුන් තීරණය නිවැරදී යයි තෙවැනි විනිසුරුවූ මයිකල් ගෆ් මහතා තීරණය කළේය.


නිරෝෂන් දික්වැල්ලගේ දැවීයාමත් සමගින් තෙවැනි කඩුල්ල සදහා පැවැති ලකුණු 107 ක සම්බන්ධතාවය බිඳ වැටුණි. එය එක්දින තරග 5 කදී දික්වැල්ලගේ හොඳම ඉනිමයි.


මෙම තරගාවලියේදී ලකුණු අතර නොසිටි කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණෙමින් පන්දු 47 කදී සිය හයවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.


තෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා ක්‍රේග් බ්‍රැත්වේට් එවූ පන්දුවට පසුපාදයට ගොස් ආරක්ෂාකාරීව පන්දුව පිළිගත්තද ඔහු නොසිතූ ආකාරයෙන් පන්දුව ඉපිළී පන්දු යවන්නාගේ අන්තයට ගියේය.

පන්දු යැවූ ක්‍රේග් බ්‍රැත්වේට් විසින්ම තනි අතින් උඩපන්දුව රැකගනිමින් ඔහුගේ මංගල කඩුල්ල දවාගත්තේ ධනංජය ද සිල්වාගේ ඉනිම අවසන් කරමිනි. ධනංජය ද සිල්වා දැවීයන විටදී පන්දු 60 කට මුහුණදී හතරේ පහර හතක් සමගින් ලකුණු 60 ක් රැස්කර සිටියේය.


දෙවැනි කඩුල්ල සදහා පන්දු 110 කදී ලකුණු 105 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල සමත්වූහ. ශ්‍රී ලංකා පිලට ඕවර 10 ක් අවසානයේදී ලකුණු 7.00 ක් ඉක්මවූ වේගයක් පවත්වාගත ගියද ධනංජය ද සිල්වාගේ දැවීයාමත් සමගින් ඕවර 25 ක් අවසානයේදී ලකුණු ලබාගැනීමේ වේගය 5.64 දක්වා පහත වැටුණී.


ලකුණු 18 දී පළමු කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පිටියේ සිටි ධනංජය ද සිල්වා සමගින් එක්වූ නිරෝෂන් දික්වැල්ල අසම්මත පහර යොදාගනිමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැවීමට සමත්වූයේය.


ශැනන් ගේබි්‍රයල්ගේ පන්දුවකට කුසල් ජනිත් වේගවත් පහරක් ගැසීමට යාමේදී පිත්තේ නොවැදුණු පන්දුව කඩුල්ල සොයා ගොස් පිට ඉන්න දෙකඩ කළේය. පන්දු 7 කට මුහුණදුන් කුසල් ජනිත්ට ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණී.


සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ක්‍රීඩා කළ දසුන් ශානක සහ ජේෆ්රි වැන්ඩර්සේ වෙනුවට ෂෙහාන් ජයසූරීය සහ නුවන් ප්‍රදීප් නැවත කණ්ඩායමට කැඳවා තිබේ.


අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමත් සමගින් ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිම වෙනස් කමක් නොකරම මෙම තරගය සඳහාත් කැඳවා තිබේ.


කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දු යැවීමට තීරණය කරමින් ශ්‍රී ලංකා පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.