TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දඩ මදිවාට නොමනා ලකුණු 2 ක්

Views 3762 23 November 2016 13:36

සිම්බාබ්වේ ආරම්භක පිතිකරු චමු චිබාබාට පන්දුවෙන් දමාගැසීම නිසා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඔහුගේ තරග මුදලින් 50% ක දඩමුදලක් නියම කර තිබේ. දඩ මුදලට අමතරව ලක්මාල්ගේ විනය වාර්තාවට නොමනා ලකුණු 2 ක් ද එක්කර තිබේ.


ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පසුගිය සඳුදා බුලවායෝහිදී පැවැති එක්දින තරගයේදී සුරංග ලක්මාල් විසින් සිම්බාව්වේ ආරම්භක පිතිකරුවා වෙත පන්දුව දමා ගසනු ලැබිණ.


ක්‍රීඩාංගණය තෙතබරිත වීමත් දිගින් දිගටම පැවැති අකුණු ගැසීමත් නිසා ඕවර 13 කට පසුව මෙම තරගය අතහැර දමන ලදි.


තරගයේ දෙවැනි ඕවරයේදී ලක්මාල්ගේ පන්දුවකට මුහුණ දුන් චිබාබා ලකුණක් ලබාගැනීමට උත්සාහ නොකර තම සීමාවේ රැඳී සිටියේය. මෙම අවස්ථාවේදී පන්දුව රැගත් ලක්මාල් එය චිබාබා වෙත දමා ගැසීය.


“පන්දුව පිතිකරුවාගේ ඇඟේ නොවැදී කඩුලු රකින්නා වෙත ගියත් එවන් ක්‍රියාවක් ක්‍රීඩාවේ සාරධර්ම වලට එකඟ බවක් පෙන්වන්නේ නෑ” යයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියා සිටී.


මේ අතර ලක්මාල්ගේ විනය වාර්තාවට ‘නොමනා ලකුණු’ 2 ක්ද එක්කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි. කිසියම් ක්‍රීඩකයකු වසර දෙකක් ඇතුළතදී මෙවන් නොමනා ලකුණු 4 ත් 7 ත් අතර සංඛ්‍යාවක් ලබාගන්නේ නම් එය ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් තහනම් කිරීමට හේතුවක් වනු ඇත.


සුරංග ලක්මාල් තමන්ගේ වරද පිළිගත් හෙයින් පන්දුව දමාගැසීමේ චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් කිරීම අවශ්‍ය නොවිණ.


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.