TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ෆෆ් ඩු ප්ලෙසි වික්‍රමාන්විත ඉනිමක

Views 2448 24 November 2016 21:09

පන්දුවේ කෙළ තැවරීයයි ලද චෝදනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව හමුවේ වග උත්තර බැඳීමට සිදුවීමෙන් පන්නරය ලැබූ ෆෆ් ඩු ප්ලෙසි ඕස්ටේ්‍රලියානුවන් හමුවේ වික්‍රමාන්විත පිතිහරඹයක යෙදෙමින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ශතකය ලබාගත්තේය. ඇඩිලේඞ්හිදී අද (24 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේදී ප්ලෙසි ලබාගත් ශතකය නිසා සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් ලබා ගත් දකුණු අප්‍රිකානුවෝ කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක සිය ඉනිම අහවර කළහ.


දිනය නිමා වීමට පෙර ඕස්ටේ්‍රලියානුවන් ඕවර 12 කට මුහුණ දුන් නමුත් එම ඕවර 12 දී ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි. ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් සිය උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පිටියෙන් ඉවත ගොස් සිටි බැවින් ඔහුට ඉනිම ආරම්භ කළ නොහැකි විය.


දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වූ මෙම තරගයේදී රෝස පැහැ පන්දුවට මුහුණ දුන් පළමු දකුණු අප්‍රිකානුවා ලෙස ස්ටීවන් කුක් ඉතිහාසයට එක්විය. වර්ණ භේදවාදය හේතුවෙන් අන්තර්ජාතික තරග තහනමකට ලක්ව සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම 1991 දී නැවතත් අන්තර්ජාතික තරග බිමට පිවිසීමෙන් පසුව සුදු පැහැ පන්දුවට මුහුණ දුන් මුල්ම දකුණු අප්‍රිකානුවා වූයේ ස්ටීවන් කුක්ගේ පියා වන ජිමී කුක්ය.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් මිචෙල් ස්ටාක් සහ ජොස් හේසල්වුඞ් දෙදෙනාගේ තර්ජනාත්මක පන්දු යැවීම හේතුවෙන් දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුලු 3 ක් ලකුණු 44 දී බිඳ වැටිණ. තර්ජනය දිගටම පවත්වාගෙන ගිය ඕස්ටේ්‍රලියනු පන්දු යවන්නෝ මුලු ලකුණු සංඛ්‍යාව 161 වන විට දකුණු අප්‍රිකානුවන්ගේ කඩුලු 7 ක් බිම දමා තිබුණද කයිල් ඇබට් සමග එක්වූ ෆෆ් ඩු ප්ලෙසි සැබෑ නායකයකුගේ වගකීම කරට ගනිමින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක් එක් කළේය.


කයිල් ඇබට් දැවී ගියද නායකයා පන්දු 147 කින් සිය ශතකය ලබාගත්තේ හැකි සෑම අවස්ථාවකදීම පසුපෙළ පිතිකරුවන් ආරක්‍ෂා කරගනිමිනි. ෆෆ්ගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත් වූ නමුත් ඔහුගේ ඉනිම කිසි සේත්ම ප්‍රහාරාත්මක ඉනිමක් යැයි වර්ගීකරණය කළ නොහැක්කේ සිය සහායක පිතිකරුවා ආරක්‍ෂා කරගැනීම සඳහා ඔහුට තනි සහ ද්විත්ව ලකුණු අතහැර හතරේ සීමාව සොයා යාමට සිදුවූ බැවිනි.


හොබාර්ට්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ කෙළ තැවරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව හමුවේ වරදකරු වූ ෆෆ් ඩු ප්ලෙසිට ඉතිරිව තිබුණේ ලකුණු රැස්කිරීමෙන් තමන්ගේ කීර්තිය නැවත අත්පත් කරගැනීම පමණි. තරගයෙන් අනතුරුව ඔහු පැවසුවේ මෙය ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම බවයි


“මා එයින් පන්නරය ලැබුවා. මට හිතුණේ මගේ ධෛර්යය පරීක්‍ෂා කිරීමට මෙය හොඳම අවස්ථාව බවයි. ඒකට හොඳම ක්‍රමය ලකුණු ලබාගැනීමයි” යයි පැවසූ ෆෆ් ඩු ප්ලෙසි පිටියට පිවිසෙන අවස්ථාවේදී ඕස්ටේ්‍රලියානු නරඹන්නන්ගෙන් ඔහුට ලැබුණේ ‘හූ’ සංග්‍රහයකි.


දකුණු අප්‍රිකානු පිලේ නිත්‍ය නායක ඒ. බී. ඩිවිලියර්ස් ආබාධයකට ලක්ව සිටින හෙයින් මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකානු නායකත්වය ෆෆ් ඩු ප්ලෙසිට පැවරී තිබේ. තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් දකුණු අප්‍රිකානු පිල මේ වන විට 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගෙන සිටියද දකුණු අප්‍රිකානුවන්ගේ උත්සාහය මෙම තරගයත් ජයගනිමින් 3-0 ක තරගාවලි ජයක් ලබාගැනීමයි.


3-0 ක තරගාවලි පරාජයෙන් ගැලවීමේ අරමුණ ඇතිව කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් තුනක් කළ ඕස්ටේ්‍රලියානුවෝ කෝඩුකාරයන් වන පීටර් හැන්ස්කොම්බ්, නික් මැඩින්සන් සහ මැතිව් රෙන්ෂෝ කණ්ඩායමට කැඳවූහ.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 259
(ස්ටීවන් කුක් 40, ෆෆ් ඩු ප්ලෙසි නොදැවී 118, ක්වින්ටින් ඩි කොක් 24, කයිල් ඇබට් 17, තබ්රිස් ශම්සි නොදැවී 18, මිචෙල් ස්ටාක් 78/2, ජොස් හේසල්වුඞ් 68/4, ජැක්සන් බර්ඞ් 57/2, නේතන් ලයන් 45/1)

ඕස්ට්‍රේලියාව - කිසිවකු නොදැවී 14

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.