TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කවාජාගේ ශතකයෙන් ඕස්ට්‍රේලියානුවෝ ඉදිරියට

Views 1522 25 November 2016 21:00

උස්මන් කවාජාගේ ශතකයක් සිය මංගල ටෙස්ට් තරගයේදීම පීටර් හෑන්ස්කෝම්බ් ලබාගත් අර්ධ ශතකයත් නිසා පෙරමුණට පැමිණි ඕස්ටේලියානුවෝ ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට දකුණු අප්‍රිකානුවන්ට පරාජයේ අනතුරු ඇඟවීම කළහ. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඇඞ්ලේඞ් ඕවල් පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සත්කාරක ඕස්ටේ්‍රලියනු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියේය.


දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වන මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් ලබා සිය මුල් ඉනිම අවසන් කළ හෙයින් සත්කාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් අතැතිව ලකුණු 48 ක් ඉදිරියෙන් සිටී.


දකුණු අප්‍රිකානුවන්ගේ පන්දු 285 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 138 ක් ලබාගත් කවාජා සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය සමපූර්ණ කළේ තරගාවලියේ පළමු වතාවට සංචාරකයන්ට වඩා තම කණ්ඩායම ඉදිරියට ගෙන යමිනි.


නවක පිතිකරු මැතිව් රැන්ෂෝ (10) සහ ඬේවිඞ් වෝනර් (11) දෙදෙනාම ලකුණු 37 ක් තුළදී ආපසු ක්‍රීඩාගාරයට ගිය නමුත් නායක ස්ටීවන් ස්මිත් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට කවාජා සමත් විය. පසුව කෝඩුකාරයා වූ පීටර් හෑන්ස්කොම්බ් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක තවත් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ කවාජාගේ ඉනිම හතරේ පහර 12 කින් සමන්විත විය.


අද පෙරවරුවේ පළමු හෝරාවේදීම කඩුලු දෙකක් දවාගත් කයිල් ඇබට්ගේ පන්දුවක් හමුවේ පීටර් හෑන්ස්කොම්බ්ගේ ඉනිම මෙන්ම සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමා විය.


කෙසේ වෙතත් තුන්වැනි දිනය සඳහා ඕස්ටේ්‍රලියානුවන්ට තවත් බලාපොරොත්තුවක් ඉතිරි වී ඇත්තේ අවස්ථානුකූලව පිත්ත හැසිරවීමේ හැකියාවක් ඇති මිචෙල් ස්ටාක් (නොදැවී 16) සමග එක්වීමට කවාජාට ඉඩකඩ සැලසී තිබෙන බැවිනි.


මේ වන විටත් 0-2 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය පරාජය වී සිටින නමුත් ඕස්ටේ්‍රලියානුවන්ගේ අභිප්‍රාය වන්නේ මෙම තරගය ජයගනිමින් 3-0 ක තරගාවලි පරාජයෙන් අත්මිදීමයි. යම් හෙයකින් එවැන්නකට මුහුණ දීමට ඕස්ටේ්‍රලියාවට සිදුවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලද 3-0 තරගාවලි පරාජයෙන් පසුව පිට පිටම මුහුණ දෙන දෙවැනි 3-0 තරගාවලි පරාජය ලෙසින් එය ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් වාර්තා පොතට එක්වනු ඇත.

එපමණක් නොවේ. ඕස්ටේ්‍රලියානු කණ්ඩායමක් සිය මවුබිමේදී එවන් ඉරණමකට පත්වන පළමු අවස්ථාව ලෙසින්ද එය සටහන් වනු ඇත.


ඬේල් ස්ටේන් උරහිසේ ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකානු පිලට එක්වූ කයිල් ඇබට් හොබාර්ට්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 77 කට කඩුලු 6 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිල ඉනිමක ජයක් කරා කැඳවාගෙන ගියේය. ඇඩිලේඞ්හිදීත් විශිෂ්ට පන්දු යැවීමක නිරතව සිටින ඇබට්ගේ පන්දු යැවීමේ වාරයක් අද පෙරවරුවේ සටහන් වූයේ 10-6-07-2 ලෙසිනි.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 259

ඕස්ට්‍රේලියාව - කඩුලු 6 ක් දැවී 307
(උස්මන් කවාජා නොදැවී 138, මැතිව් රැන්ෂෝ 10, ඬේවිඞ් වෝනර් 11, ස්ටීවන් ස්මිත් 59, පීටර් හෑන්ස්කොම්බ් 54, වර්නන් පිලැන්ඩර් 82/1, කයිල් ඇබට් 38/3, කගීෂෝ රබාඩා 61/1)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.