TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ධනංජය අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී

රොෂාන් ගුණරත්න Views 5431 30 November 2016 20:13

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මේ වනවිටත් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති අතර නමුත් වෙනදා මෙන් ආරම්භක පිතිකරුවන්ගෙන් ඉටුවිය යුතු සේවය මෙම තරගාවලියේදීද හරියාකාරව ඉටුනොවීම කැපී පෙනුණි.

අත්හදා බැලීම් ගණනාවකින් පසු ආරම්භක පිතිකරු භූමිකාව සදහා යෙදවූ ධනංජය ද සිල්වා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළද තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පහක් තුළ ඉනිම හතරකදී අර්ධ ශතක දෙකක් සමගින් ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.  ධනංජය රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සිම්බාබ්වේ පිලට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 78 වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 46.33 ක් විය.

කෙසේ වෙතත් මැද පෙළ පිතිකරුවකු  වශයෙන් ක්‍රීඩා කරමින් ඕස්ටේ්‍රලියානුවන් හමුවේ ටෙස්ට් තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ ධනංජය එක්දින කණ්ඩායමේ තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බවක් දක්නට තිබිණ.

ආරම්භක පිතිකරුවකු වශයෙන් අසාර්ථක වූ කුසල් ජනිත්ට තරග පහක් තුළ ඉනිම හතරකදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 46 ක් පමණී. සිම්බාබ්වේ පිලට එරෙහිව පළමු තරගයේදී රැස්කළ ලකුණු 21 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 11.50 ක් විය.

පෙර තරගවලදී අංක තුන පිතිකරුගේ ස්ථානයේ ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් අංක හතර දක්වා පහත දමා මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාකළ නිරෝෂන් දික්වැල්ලට අංක තුන පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට මෙම තරගාවලියේදී අවස්ථාවක් හිමිවිය. දික්වැල්ලට ලැබුණු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් තරග පහක් තුළ ඉනිම හතරකදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 179 ක් රැස්කිරීමට සමත්වූයේය. නිරෝෂන් දික්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 94 ක් රැස්කරමින් ශතකය පෙනි පෙනී දැවීගිය අතර මෙම තරගාවලියේදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 44.75 ලෙස සටහන්විය.

පිතිකරු ලැයිස්තුවේ එක් ස්ථානයක් පහලට ගියද දස්කම්වල අඩුවක් සිදුනොවූ කුසල් මෙන්ඩිස් තරග පහක් තුළ ඉනිම හතරකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 167 ක් රැස්කිරීමට සමත්වූයේය. මංගල ශතකය අහිමිකර ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 94 ක් රැස්කළ කුසල් මෙන්ඩිස්ගේ කුණු ලබාගැනීමේ සාමාන්‍යය 55.66 කි.

ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබූවද නවකයන්ට අවස්ථාව ලබාදෙමින් මැදපෙළ පිතිකරුවකු වශයෙන් කටයුතු කළ උපුල් තරංගට තරග පහක් තුළ ඉනිම තුනකදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95 ක් වුවද අවසන් තරගයේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවීම කැපී පෙනුණි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් අබාධ සුවවීමෙන් පසු නැවත කණ්ඩායමට එක්වූ විට නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානයක් හිමිවේද නැද්ද දැන්ම පැවසිය නොහැකිය. වේගපන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ අසේල ගුණරත්න අතර කඩුලු අට බැගින් බෙදී යනවිට සුරංග ලක්මාල් කඩුලු හතක් දවාගැනීමට සමත්විය. නුවන් ප්‍රදීප්ට හිමිවුයේ කඩුලු පහක් පමණී.

දඟපන්දු යවන්නන්ට මෙම තරගාවලියේදී වැඩියමක් කිරීමට හැකිනොවූ අතර සචිත් පතිරණ කඩුලු හතරක් සහ ජෙෆ්රී වැන්ඩර්සේ කඩුලු තුනක් දවාගැනීමට සමත්වූහ. තුන්ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ ශෙහාන් ජයසූරියට පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද වැඩියමක් කිරීමට අවස්ථාවක් නොලැබිණි.

තරගාවලියේදී වාර්තාවු ශතක දෙකට හිමිකම් කීමට බටහිර ඉන්දීය කොදෙව් පිලේ එවින් ලුවිස් සහ ශායි හෝප් සමත්වූ අතර තරග හතරකට ක්‍රීඩාකරමින් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වූහ. එවින් ලුවිස් ලකුණු 202 ක් රැස්කළ අතර ශායි හෝප් ලකුණු 187 ක් රැස්කිරීමට සමත්වූහ.

වේගපන්දු යවන ජේසන් හෝල්ඩර් කඩුලු නවයන් බිඳහෙළමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වූ අතර පිටදග පන්දු යවන ඇෂ්ලි නර්ස් කඩුලු අටක් දවාගැනීමට සමත්විය.

තරගාවලියපුරා පිත්තෙන් දස්කම් දැක්වූ සීකන්දර් රාසා තරග පහකදී ලකුණු 163 ක් සහ ක්‍රෙග් අර්වින් තරග පහකදී ලකුණු 147 ක් රැස්කරමින් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන ඒමට සමත්වූහ. පන්දු යැවීමේ බළඇණිය දුර්වලවූ සිම්බාබ්වේ කණ්ඩාමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ කඩුලු හතරක් දවාගත් ෂෝන් විලියම්ස්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සාමාන්‍යය
ක්‍රීඩකයා තරග ඉනිම නො ලකුණු වැ.ල සාමාන්‍යය 100 50
සචිත් පතිරණ 5 2 1 69 45 69.00 0 0
කුසල් මෙන්ඩිස් 5 4 1 167 94 55.66 0 2
උපුල් තරංග 5 3 1 95 57* 47.50 0 1
ධනංජය ද සිල්වා 5 4 1 139 78* 46.33 0 2
නිරෝෂන් දික්වැල්ල 5 4 0 179 94 44.75 0 1
අසේල ගුණරත්න 5 3 1 40 18 20.00 0 0
ශෙහාන් ජයසූරිය 3 2 0 40 31 20.00 0 0
නුවන් කුලසේකර 5 1 0 16 16 16.00 0 0
කුසල් ජනිත් 5 4 0 46 21 11.50 0 0
සුරංග ලක්මාල් 5 1 0 0 0 0.00 0 0
නුවන් ප්‍රදීප් 3 1 1 0 0* - 0 0
දසුන් ශානක 2 - - - - - - -
ජෙෆ්රී වැන්ඩර්සේ 2 - - - - - - -
 
කෙටි යෙදුම්
ත - තරග, ඉ - ඉනිම, නො - නොදැවීම්, වැ.ල. - වැඩිම ලකුණු
 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුකරන සාමාන්‍යය
ක්‍රීඩකයා තරග ඉනිම ඕවර ලකුණු කඩුලු හො.ප. සාමාන්‍යය ල.වේ.
අසේල ගුණරත්න 5 4 30.0 118 8 10/3 14.75 3.93
ධනංජය ද සිල්වා 5 1 1.0 4 0 - - 4.00
නුවන් කුලසේකර 5 5 40.0 180 8 23/2 22.50 4.50
සුරංග ලක්මාල් 5 5 36.2 168 7 19/2 24.00 4.62
සචිත් පතිරණ 5 5 31.3 156 4 26/2 39.00 4.95
ජෙෆ්රී වැන්ඩර්සේ 2 1 10.0 50 3 50/3 16.66 5.00
නුවන් ප්‍රදීප් 3 3 27.0 141 5 21/2 28.20 5.22
ශෙහාන් ජයසූරිය 3 3 11.0 63 0 - - 5.72
දසුන් ශානක 2 2 4.0 23 0 - - 5.75
 
කෙටි යෙදුම්
ත - තරග, ඉ - ඉනිම, ඕ - ඕවර, ල - ලකුණු, ක - කඩුලු, ඉ.හො.ප. - ඉනිමක හොදම පන්දු යැවීම
ල.වේ. - ලකුණු වේගය, ත.හො.ප. - තරගයක හොදම පන්දු යැවීම
 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.