TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

නිලධාරීහු විරෝධී ක්‍රියාව සඟවති

යොහාන් භාසුර Views 1503 28 December 2016 16:37

ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ ආසියානු කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ක්‍රීඩකයකුගේ විනය විරෝධී ක්‍රියාවක් කණ්ඩායම් නිලධාරීන් සඟවා ඇති බවට චෝදනා එල්ල වේ. එම විනය විරෝධී ක්‍රියාව පිළිබඳව මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්වත් කිරීමට කණ්ඩායමේ කළමනාකරු කටයුතු කර නොමැති බවද වැඩි දුරටත් වාර්තා වේ.

අදාල ක්‍රීඩකයා කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජයක් නියෝජනය කරන බවත් කණ්ඩායම් කළමනාකරු සහ වයස 19 න් පහළ කණ්ඩායම අධීක්‍ෂණය කරන විධායක කමිටු නිලධාරින් දෙදෙනාගෙන් කෙනකුද එම ප්‍රධාන ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම නිසා මෙම සිද්ධිය යට ගැසීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.  

ආදාල ක්‍රීඩකයාගේ සිද්ධිය පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් කැඳවා කණ්ඩායම් කළමනාකාරිත්වය දැනුම්දී ඇති බව ද වාර්තා වේ.

ක්‍රීඩකයන් හෝටලයේ ලැගුම් ගෙන සිටි විට රාත්‍රීයේදී ක්‍රීඩකයන්ගේ ජංගම දුරකථන කළමණාකරු බාරයට ගන්නා බව ද දැනගන්නට තිබේ. එසේ වුවත් මෙම ක්‍රීඩකයා වෙනත් දුරකථනයකින් මෙම විනය විරෝධී ක්‍රියාව කර ඇති බව දැනගන්නට තිබේ. මෙම සිද්ධිය පිළිබඳව කොළඹ අවට පොලිසියකට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් ක්‍රීඩාංගණයට පැමිණ පරීක්‍ෂණ පවත්වා ඇති බවද වාර්තාවේ.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිලධාරීන් පවසන්නේ කුඩා ක්‍රීඩකයන්ගේ මෙවැනි සිද්ධීන් සැඟවීමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එන ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව දැඩි ප්‍රශ්න මතුවිය හැකි බවයි.

“මේ නිලධාරින් තවත් සංචාරයක කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් මේ වගේ සිද්ධි හංගනවා. නමුත් මෙයින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු හානියක් වෙනවා” යැයි වඩාත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්යේ පාසලක ක්‍රීඩකයකු යැයි කියන මෙම ක්‍රීඩකයා ඉදිරියේ පැවැත්වෙන සංචාරයකට ද මේ වන විටත් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව දැනගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළද එම උත්සාහය අසාර්ථක විය.  

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.