TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශ්‍රී ලංකා ‘ඒ’ පිල තේරීම ප්‍රමාද වෙයි

යොහාන් භාසුර Views 1511 9 February 2017 21:44

සංචාරක එංගලන්ත ලයන්ස් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සහ එක්දින තරග පහකින් සමන්විත තරගාවලිය මේ මස 17 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.


මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා කොළඹ මාධ්‍ය හමුවක් පැවැත්වුව ද එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම නිලධාරි ජෙරම් ජයරත්න මහතා පැවසුවේ එම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ පිල හෝ එහි නායකයකු මේ දක්වා නම් කර නොමැති බවයි.


“මෙම තරගාවලියට සහභාගි වීම සඳහා 20 දෙනකුගේ සංචිතයක් නම් කරලා තියෙන්නේ. නමුත් තවම අවසන් සංචිතයක් නම් කරලා නෑ” යැයි ජයරත්න මහතා වැඩි දුරටත් පැවසීය.


එහිදී කළ විමසුමකදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා පැවසුවේ පළමු පෙළ තරගාවලිය මේ දිනවල පැවැත්වෙන බැවින් සංචිතයක් ලෙස පුහුණුවීමේ අවස්ථාව නොලැබුණු බවයි.


“ක්‍රීඩකයන් පළමු පෙළ තරගාවලියේ සිවුදින තරගවලට සහභාගි වීම නිසා සංචිතයක් ලෙස පුහුණුවීම් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ක්‍රීඩකයන් එක්කෙනා දෙන්නා ගෙන්නා පුහුණුවීම් කළා”


“දැන් පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයත්, වයස 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත් කරන්න විය හැකියි සංචිතය ප්‍රමාද වෙන්නේ නමුත් ඒ පිළිබඳව තේරීම් කමිටුවෙන් තමයි අහන්න ඕනේ. හැබැයි මට සතුටක් තියෙනවා දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කීප දෙනෙක් මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්” යැයි අවිෂ්ක මහතා වැඩි දුරටත් පැවසීය.


මෙම තරගාවලියට සහභාගි වන එංගලන්ත ලයන්ස් පිල මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එහි නායකයා ලෙස ටෙස්ට් ක්‍රීඩක කීටන් ජෙනී කටයුතු කරයි.


එංගලන්ත ලයන්ස් පිලේ පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් මහතා පැවසුවේ එංගලන්ත පිල ඩුබායිහි දීර්ඝ පුහුණු සැසියකට ද සහභාගි වී මෙම සංචාරයට සහභාගි වන බවයි.


“අපි මෙහිදී එංගලන්ත ක්‍රිකට් ආයතනය පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මෙම තරගාවලියේදී තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව වැඩියෙන් ලැබෙනවා” යැයි ෆ්ලවර් මහතා වැඩි දුරටත් පැවසීය.


ශ්‍රී ලංකාව සංචිතයක් හෝ නායකයකු නම් නොකිරීම හේතුවෙන් මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයකු සහභාගි නොවීම කැපී පෙනුණි.


පළමු සිවුදින තරගය මේ මස 17 වැනිදා සිට පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි සිවුදින තරගය මේ මස 24 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.


පළමු එක්දින තරග දෙක මාර්තු මස 2 සහ 3 දෙදින රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී ද, පැවැත්වේ. සිවුවැනි සහ පස්වැනි තරග දෙක කොළඹ සී.සී.සී. ක්‍රීඪාගංණයේදී පැවැත්වේ.

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.