TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

යොහාන් භාසුර Views 2925 10 February 2017 15:12

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකුගෙන් දිගින් දිගටම බලපෑම් යොමුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බව වාර්තා වේ.

සනත් ජයසූරියගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු කටයුතු කළහ.

සනත් ජයසූරිය මහතා ඊයේ (09) පස්වරුවේ දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට ළඟා වී ඇති අතර ඊට පෙර දින දකුණු අප්‍රිකාවේ සිට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු අතර පැය කීපයක සාකච්ඡාවක් ද පැවැත්වා ඇති අතර එය ද විසඳුමකින් තොරව අවසන් වූ බව වාර්තා වේ.

එංගලන්ත ලයන්ස් පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තේරීම් කමිටුව නම් කළ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෙකු විසින් වෙනස් කරනු ලැබීම මෙම ඉල්ලා අස්වීමේ තීරණයට ආසන්නතම හේතුව බවට පත්ව ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පෙරේදා පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ තේරීම් කමිටුව ඉල්ලා අස්වන බවට දැනුම්දී නොමැති බවයි.

සනත් ජයසූරිය මහතා මෙම දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කුගෙන් බලපෑම් ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පැමිණිළි කළ ද ඉන් පළක් නොවීය.
 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.