TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

තිසරලාගේ ග්ලැඩියේටර්ස් පිලට කඩුලු 7 ක ජයක්

. Views 1733 12 February 2017 17:14

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කුමාර් සංගක්කාර නායකත්වය දරණ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට තිසර පෙරේරා ක්‍රීඩා කරන ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය කුවේටා ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

මුලු ලකුණු සංඛ්‍යාව 30 ක් වන විට ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාවම පිටියෙන් ඉවත් කිරීමට සොහේල් ඛාන් සමත් විය. කෙසේ වුවත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 130 නොබිඳුණ වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ රිලී රොසොව් (නොදැවී 76) සහ නායක සෆ්රාස් අහමඞ් (නොදැවී 56) ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

පන්දු 53 කදී වාර්තා වූ රිලී රොසොව්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 42 කදී වාර්තා වූ සෆ්රාස් අහමඞ්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කිංග්ස් කණ්ඩයමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බාබර් අසාම් පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළේය. පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් ලබා සිටි නායක කුමාර් සංගක්කාර දැවී ගියේ තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ හසන් ඛාන් අතට උඩ පන්දුවක් දෙමිනි.

කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා, සිය ඕවර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 34 ක් දෙමින් සංගක්කාරට අමතරව ප්‍රබල පිතිරුවන් වන ක්‍රිස් ගේල් සහ ෂොයිබ් මලික්වද දවාගැනීමට සමත් විය.

කරච්චි කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 159

(ෂසයිබ් හසන් 19, බාබර් අසාම් 50, කුමාර් සංගක්කාර 25, කිරන් පොලාඞ් 14, ෂොයිබ් මලික් 15, රවී බොපාරා 16, තිසර පෙරේරා 34/3, ටයිමල් මිල්ස් 21/4)

කුවේටා ග්ලැඩියේටර්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 160

(රිලී රොසොව් නොදැවී 76, සෆ්රාස් අහමඞ් නොදැවී 56, සොහේල් ඛාන් 23/3)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.