TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මිලියන 915 ඇස්තමේන්තුව බිලියන 5.4 ක වියදමක් වෙයි

නාමල් පතිරගේ සහ සුජිත් හේවාජුලිගේ Views 1212 14 February 2017 19:18

සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමේ වියදම රජයේ ඇස්තමේන්තුගත වියදම ලෙස රුපියල් මිලියන 915 ක් ලෙස දක්වා තිබුණත් අද වනවිට එය රුපියල් බිලියන 5.4 ක් ලෙස සඳහන් වන බවත් එසේ වී ඇත්තේ එම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට හෝ දියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොතිබියදී බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. එම කමිටුව නිකුත් කළ රාජ්‍ය ආයතන විමර්ශන තෙවැනි වාර්තාවෙන් ඒ බව දන්වා තිබේ.


2016 මැයි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා රාජ්‍ය ආයතන 15 කට අදාළව කෝප් කමිටුව කළ නිරීක්ෂණ හා ඊට අදාළ නිර්දේශ මෙම වාර්තාවට අන්තර්ගතව තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 දෙනකුගෙන් සමන්විතය. රාජ්‍ය ආයතන 15 ට ජාතික ක්‍රීඩා සංගම් දෙකක් ලෙස සලකන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කළ විමර්ශන හා නිර්දේශ ද ඇතුළත් වෙති.


එහිදී කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු හයක් කෙරෙහි අවධානය යොමුකර තිබේ. ඒ සූරියවැව ක්‍රීඩාගණය, එහි තක්සේරු වාර්තාව, ක්‍රිකට් ආධාර අරමුදල, උපදේශකයන් පත් කිරීම, නිල ඇඳුම් අනුග්‍රාහකත්වය හා ස්ථාවර වත්කම් ලේඛනය පිළිබඳවයි.


සූරියවැව ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් පිළිබඳව කෝප් කමිටුව කළ විමසීම්වලදී හෙළිකරගත් කරුණු මෙසේය.


ඉදිකිරීම් තීන්දුව ගැනීමෙන් පසුව කලින් එකඟවූ රුපියල් මිලියන 200ට අමතරව රජයේ නියෝග පරිදි ක්‍රිකට් ආයතනයට ඒ සඳහා තවත් රුපියල් බිලියනයක් ගෙවීමට සිදුව තිබේ. පසුව රජය, ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවැරීමෙන් පසුව ඉදිකිරීම් සඳහා තවත් රුපියල් බිලියන 2.8 ක බිල්පත් ඉදිරිපත්ව තිබේ. එය පසුව රුපියල් බිලියන 4.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත්තේ තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට අපොහොසත්වීම පිළිබඳවයි. කෙසේ වුවත් පෞද්ගලික ආයතනයක් හවුල් කර ගනිමින් ඉදිරිපත් කළ තක්සේරු වාර්තාවේ අවශ්‍ය තරම් තොරතුරු නොමැතිවීමෙන් මෙම ක්‍රීඩාංගණය සම්බන්ධ වියදම් හා වටිනාකම් පිළිබඳව සාධාරණ තක්සේරුවක් කිරීමට නොහැකිවූ බව කෝප් කමිටුව සිය නිගමනයෙන් දන්වා තිබේ.


මේ සම්බන්ධයෙන් වන අවසන් වියදම පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කර සිටි ගණන් දීමේ නිලධාරියා පවසා ඇත්තේ අවුරුදු 3 කට පෙර රුපියල් බිලියන 4.2 ක් වූ එහි ප්‍රාග්ධන වියදම අද වනවිට රුපියල් බිලියන 5.4 ක් වී තිබෙන බවයි.


ඒ පිළිබඳව කෝප් කමිටුවේ නිර්දේශ වී ඇත්තේ සම්පූර්ණ තක්සේරු වාර්තාවක් මාසයක් කාලයක් තුළදී ඉදිරිපත් කිරීම, සූරියවැව ක්‍රීඩාංගණයේ ආරම්භයේ සිට සියලුම තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදීම හා මූල්‍යමය පාඩුව සම්බන්ධයෙන් ඉදිකිරීම් කළ වරාය අධිකාරිය සමග සාකච්ඡා කිරීමය. කෙසේ වුවත් ඒ පිළිබඳව ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටුව කියා සිටින්නේ නිර්දේශ සම්බන්ධයෙන් ගත් පියවර කාරක සභාවට දන්වා නැති බවය.


ක්‍රිකට් ආධාර අරමුදල නමින් ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් තෙවැනි කරුණ ලෙස කෝප් කමිටුවේ සාකච්ඡා විය.


එම ආයතනය ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නොවූ වෙනත් ආයතනයක් ලෙස පිහිටුවා තිබීම හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු පෞද්ගලික ඒවා වීමත් එමෙන්ම යාවජීව සාමාජික ලෙස ඔවුන්ව හඳුන්වා තිබීමත් කෝප් කමිටුවේ අවධානයට යොමුවිය.


එහිදී ගණන් දීමේ නිලධාරියා පවසා ඇත්තේ පළමු වැනි අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්වීම් වැරැදි බවත් ක්‍රිකට් ආයතනයේ ධුරය දරන තෙක් පමණක් යනුවෙන් එම පත්වීමෙහි ස්වභාවය වෙනස් විය යුතු බවය. මේ අතර ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් අරමුදලට රුපියල් මිලියන දෙකක් ලබාදීම ණය මුදලක් ලෙස සඳහන්ව නැතිවීමත් එම අරමුදල වෙනුවෙන් පිහිටුවන ලද බැංකු ගිණුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පරිබාහිරව භාවිතා කිරීමත් පිළිබඳව කෝප් කමිටුව සිය නොසතුට පළ කරන ලදී.


එහිදී බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාදාමයේ යම් වරදක් සිදුවී ඇති බව පිළිගන්නා බවත් එය විමර්ෂණය කර වාර්තාවක් ලබාදීමටත් ඒ සම්බන්ධයෙන් වරදක් සිදුවී ඇතිනම් නිවැරදි කිරීමටත් කටයුතු කරන බව ගණන් දීමේ නිලධාරියා පැවසීය.


කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව කළ නිර්දේෂය 2016 සැප්තැම්බර් 30 වැනිදා වන විටත් ක්‍රියාත්මක වී නොතිබුණු බව එම කමිටුව එහි වත්මන් තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කරමින් කියා සිටියි.


ඒ අතර මෙම අරමුදල රජයේ විගණකාධිපතිට විගණනය කළ හැකි අයුරින් සකස් විය යුතු බව කෝප් කමිටුව වැඩිදුරටත් නිර්දේෂ කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදේශකයන් නව දෙනෙකු පත් කිරීම පිළිබඳව කෝප් කමිටුවේ අවධානයට යොමු වීය. එම පත් කිරීමෙහි අරමුණ පිළිබඳව කළ විමසුමේදී ගණන් බැලීමේ නිලධාරියා ප්‍රකාශ කළේ ඔවුන් උපදේශකවරුන් පමණක් නොව පුහුණුකරුවන් ද වන බවයි.


ඔවුන් පිළිබඳව කෝප් කමිටුවේ නිර්දේෂ වන්නේ උපදේශකවරුන් තෝරා ගත් පදනම, සුදුසුකම්, උපදේශකයන්ගේ නම්, ගෙවන දීමනා, පවරන ලද රාජකාරි හා වගකීම්, ඔවුන් මෙතෙක් ඉදිරිපත් කරන ලද වාර්තා ඇතුළත්ව එම උපදේශකයන් වෙන් වෙන් වශයෙන් දක්වමින් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නත් 2016 සැප්තැම්බර් 30 වැනිදා වන තෙක් එවැනි වාර්තාවක් කෝප් කමිටුවට නොලැබුණු බවය.


ජාතික කණ්ඩායමේ නිල ඇදුම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පෞද්ගලික සමාගමක් අතර ගිවිසුමක් තිබියදී අමතර නිල ඇදුම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 5.7ක මුදලක් 2015 පෙබරවාරි 12 වැනිදා වනවිට ගෙවා තිබීම කෝප් කමිටුවේ අවධානයට යොමු විය.


මෙවැනි රුපියල් මිලියන 5.7ක අමතර වියදමක් දැරීමට සිදුවූ අවශ්‍යතාවය, අතිරේකව අවශ්‍ය වූ නිල ඇඳුම් ප්‍රමාණය හා එහි වටිනාකම, අදාළ සමාගමින් ලැබුණු ප්‍රමාණය හා එහි වටිනාකම, නිකුත් කළ නිල ඇදුම් ප්‍රමාණය හා එහි වටිනාකම ඇතුළත්ව 2015 වසරට අදාළව කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ දැනුම් දීමට 2016 සැප්තැම්බර් 30 වැනිදා වන විටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබුණු බව කෝප් කමිටුව සිය විමර්ෂණ වාර්තාවෙන් දක්වා තිබේ.


මෙම කාරණවලට අමතරව කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා ගෙන නොයෑම නිසා රුපියල් බිලියන පහක ස්ථාවර වත්කම් හඳුනාගැනීමට නොහැකි බව අවධාරණය කරයි. ඒ හේතුවෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් රජයේ විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙස තමන් කළ නිර්දේෂය සනාථ කරන කිසිදු ලේඛනයක් 2016.09.30 වන තෙක් නොලැබුණු බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාවේ විමර්ෂණය අවසන් කරන්නේ පොදු කාරණා කීපයක් පිළිබඳව කරුණු දැක්වීමකිනි.


සූරියවැව ක්‍රීඩාංගණයේ සිදුවී ඇතැයි කියන මුල්‍යමය පාඩුව පිළිබඳ වරාය අධිකාරිය සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීම, ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ හා බඳවා ගැනීමේ පාටිපාටිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමෙන් වාර්තාවක් ලබාදීම හා සභාපතිවරයාට ක්‍රිකට් ආයතනයේ කටයුතු කිරීමේදී යම් ප්‍රායෝගික ගැටලුවක් තිබේ නම් ඒ ගැන පරීක්‍ෂා කිරීම සඳහා කෝප් කමිටුවේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දෙන ලෙස කමිටු සභාපතිවරයා කර තිබෙන දැනුම්දීමත් එම පොදු කාරණා යටතේ දන්වා තිබේ.


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.