TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සංගක්කාරගේ උත්සාහය අපතේ යයි

. Views 2018 18 February 2017 20:38

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17 වැනිදා) පැවැති තරගයකදී කුමාර් සංගක්කාර නායකත්වය දරණ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට බ්‍රෙන්ඩන් මැකලම් නායකත්වය දරණ ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය කරච්චි කිංග්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සොහේල් තන්වීර්, සුනිල් නරේන් සහ මොහොමඞ් ඉර්ෆාන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් කරච්චි කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කළහ.  

වේගවත් පිතිහරඹයක නිරත වූ නායක සංගක්කාර පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 65 ක් රැස්කළද, කරච්චි කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. ෂොයිබ් මලික් (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 101 ක සම්බන්ධාතවක් ගොනැගීමටද සංගක්කාර සමත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ ෂොයිබ් මලික්ගේ ඉනිමට හයේ පහර 2 ක් අන්තර්ගත විය.

සොහේල් තන්වීරගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා සංගක්කාර දැවී යාමෙන් අනතුරුව කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට සෙසු ක්‍රීඩකයෝ අපොහොසත් වූහ. පිතිකරුවන් 6 දෙනේකම ලකුණු 10 සීමාව ඉක්මවායෑමට පෙර දැවී යාමද කරච්චි කිංග්ස් කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුවක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ෆකාර් සාමන් පන්දු 36 කදී ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි.

ජේසන් රෝයි (26) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆකාර් සාමන්, ඉන් නොනැවතී උමාර් අක්මාල් (25) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ක්වාලැන්ඩර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

 

ලාහෝර් ක්වාලැන්ඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 179
(ජේසන් රෝයි 26, ෆකාර් සාමන් 56, උමාර් අක්මාල් 25, මොහොමඞ් රිස්වාන් 29, ග්‍රාන්ට් එලියට් 17, සුනිල් නරේන් 13, මොහොමඞ් අමීර් 30/2, උසාමා මීර් 35/2, සොහේල් ඛාන් 37/2)

කරච්චි කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 172
(කුමාර් සංගක්කාර 65, ෂොයිබ් මලික් 39, සොහේල් තන්වීර් 30/2, සුනිල් නරේන් 31/2, මොහොමඞ් ඉර්ෆාන් 35/2)

 

- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.