TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සංගාගේ කරච්චි කිංග්ස්ට තියුණු ජයක්

. Views 2767 20 February 2017 20:00

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවැති තරගයකදී ඩැරන් සැමී නායකත්වය දරණ පේෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර නායකත්වය දරණ කරච්චි කිංග්ස් කණ්ඩායම කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය පේෂාවර් සල්මි කණ්ඩායමට නියමිත ඕවර 19.5 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සොහේල් ඛාන් සහ උස්මාන් ඛාන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් පේෂාවර් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කළහ.
 
ලකුණු 69 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඩැරන් සැමී (34) සහ සහීඞ් අෆ්රිඩි (54) සමත් වුවද, පේෂාවර් සල්මි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 26 කදී වාර්තා වූ සැමීගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 28 කදී වාර්තා වූ අෆ්රිඩිගේ අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කිංග්ස් පිල වෙනුවෙන් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක්ද සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කිරීමට ෂොයිබ් මලික් සමත් විය. රවී බොපාරා (30) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මලික්, ඉන් නොනැවතී කිරන් පොලාඞ් (4) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කදී ලකුණු 40 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් කරච්චි කිංග්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 72 සම්බන්ධතාවක් ගොඩනැගූ බාබර් අසාම් (46) සහ කුමාර් සංගක්කාර (28) කරච්චි කිංග්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 38 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය.


කරච්චි කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 174
(බාබර් අසාම් 46, කුමාර් සංගක්කාර 28, ෂොයිබ් මලික් නොදැවී 51, රවී බොපාරා 30, ඉෆ්තිකර් අහමඞ් 8/2)

පේෂාවර් සල්මි පිල - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 165
(ටමීම් ඉක්බාල් 16, සකීබ් අල් හසන් 18, ඩැරන් සැමී 34, සහීඞ් අෆ්රිඩි 54, සොහේල් ඛාන් 28/3, උස්මාන් ඛාන් 32/3, උසාමා මීර් 28/2)

 

- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.