TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කරච්චි කිංග්ස් පිලට කඩුලු 5 ක ජයක්

. Views 1634 26 February 2017 17:10

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් නායකත්වය දරණ ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර නායකත්වය දරණ කරච්චි කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය කරච්චි කිංග්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී තරගයේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය. කරච්චි කිංග්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් පන්දු දෙකේදී ලකුණු 10 ක් රැස්කිරීමට සිදු වූ අතර එම පන්දු 2 ටම හයේ පහර 2 ක් ගැසූ කිරන් පොලාඞ්, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කරච්චි කිංග්ස් කණ්ඩායමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කිරන් පොලාඞ්, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 20 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 45 ක් රැස්කළේය. ඉම්ඩාඞ් වසීම් (නොදැවී 19) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 55 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද පොලාඞ් සමත් විය.

කරච්චි කිංග්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් බාබර් අසාම්, පන්දු 42 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කරච්චි කිංග්ස් කණ්ඩායමට එක් වූ මහේල ජයවර්ධනට පන්දු 8 කදී හතරේ පහරක් සමගින් රැසකරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. කුමාර් සංගක්කාරටද එහිදී වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර පන්දු 23 කට මුහුණදුන් ඔහු හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට නායක බ්‍රෙන්ඩන් මැකලම් සමත් විය.

මොහොමඞ් රිස්වාන් (නොදැවී 32) සහ සොහේල් තන්වීර් (22) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 55 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 24 කදී වාර්තා වූ රිස්වාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 14 කදී වාරත් වූ තන්වීර්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.


ලාහෝර් ක්වාලැන්ඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 155
(බ්‍රෙන්ඩන් මැකලම් 31, ෆඛාර් සමාන් 19, උමාර් අක්මාල් 20, සුනිල් නරේන් 16, මොහොමඞ් රිස්වාන් නොදැවී 32, සොහේල් තන්වීර් නොදැවී 22, ෂොයිබ් මලික් 21/2, උස්මා මීර් 38/2)

කරච්චි කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 158
(බාබර් අසාම් 49, කුමාර් සංගක්කාර 20, ඉම්ඩාඞ් වසීම් නොදැවී 19, කිරන් පොලාඞ් නොදැවී 45)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.