TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සංගාගේ කරච්චි කිංග්ස් පිල අවසන් පූර්ව වටයට

. Views 2373 2 March 2017 21:20

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායමට එරෙහිව ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 44 ක ජයක් අත්කර ගනිමින් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට කුමාර් සංගක්කාර නායකත්වය දරණ කරච්චි කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායම ඕවර 15.2 ක් අවසානයේ ලකුණු 82 කට සීමා කිරීමට කරච්චි කිංග්ස් පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දුයැවීමක නිතර වූ මොහොමඞ් අමීර්, ඉම්ඩාඞ් වසීම් සහ උස්මා මීර් කඩුලු 3 බැගින් දවාගනිමින් ඉස්ලාමාබාද් ඉනිම සුණුවිසුනු කර දැමූහ.

ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අසීෆ් අලී පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් රැස්කරගෙන සිටියදී උස්මා මීර්ගේ පන්දුවක් හමුවේ කුමාර් සංගක්කාර අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාමද ඉස්ලාමාබාද් කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුවක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කිංග්ස් කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 126 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු බාබර් අසාම් සහ ෂොයිබ් මලික් ලකුණු 25 බැගින් රැස්කරමින් සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 21 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ ෂොයිබ් මලික්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

නායක කුමාර් සංගක්කාරට මෙම තරගයේදී වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර පන්දු 19 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 17 ක් ලබා සිටියදී ෂේන් වොට්සන්ගේ පන්දුවක් හමුවේ මිස්බා උල් හක් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවීගියේය.

පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 17 ක් ලබා සිටි ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල්ගේ කඩුල්ල බිඳ දැමීමට රුම්මාන් රායිස් සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රුම්මාන් රායිස් සිය ඕවර 4 තුළදී කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 25 ක් පමණක් ලබා දෙමිනි. මොහොමඞ් සාමි සහ ෂේන් වොට්සන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

කරච්චි කිංග්ස් පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 126
(බාබර් අසාම් 25, ක්‍රිස් ගේල් 17, කුමාර් සංගක්කාර 17, ෂොයිබ් මලික් 25, රුම්මාන් රායිස් 25/4, මොහොමඞ් සාමි 19/2, ෂේන් වොට්සන් 29/2)

ඉස්ලාමාබාද් යුනයිටඞ් පිල - ඕවර 15.2 කදී සියලු දෙනා දැවී 82
(අසීෆ් අලී 39, මොහොමඞ් අමීර් 7/3, ඉම්ඩාඞ් වසීම් 18/3, උස්මා මීර් 24/3)

 

- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.