TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඩුප්ලෙසි - මිලර් දකුණු අප්‍රිකාව දිනවති

. Views 1049 4 March 2017 18:10

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් ලැබූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජයගත්හ.

අවසන් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ 32.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ෆෆ් ඩුප්ලෙසී (නොදැවී 51) සහ ඬේව්ඞ් මිලර් (නොදැවී 45) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 62 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 90 කට මුහුණදුන් ඩුප්ලෙසී හතරේ පහර 6 ක් සමගින් සිය 26 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර පන්දු 35 කදී වාර්තා වූ මිලර්ගේ වේගවත් ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. නායක ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 21 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි.
ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් (6) සහ ජේ. පී. ඩුමිනි (3) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කිරිමට පිට දඟ පන්දු යවන ක්‍රීඩක ජීතන් පටේල් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 41.1 ක් අවසානයේ ලකුණු 149 කට සීමාකිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත් විය. ඉම්රාන් තාහිර් සහ ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා රබාඩාට අනගි සහයක් දුන්හ.
 
සිවුවැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 180 ක් රැස්කළ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්ගේ කඩුල්ල බිඳ දැමූ රබාඩා, තරගාවලිය පුරාම ලකුණු අතර සිටි ජේම්ස් නීෂම් සහ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් ආපසු ක්‍රීඩාගාරයට හරවා ඇරියේ ජේ. පී. ඩුමිනිගේ සහ ස්වින්ටින් ඩි’කොක්ගේද සහ ඇතිවය.

පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී යාම නවසීලන්ත පිලේ පරාජයට ප්‍රධානම හේතුවත් වූ අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 32 ක් රැස්කළේය.


නවසීලන්තය - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 149  
(ඩීන් බ්‍රවුන්ලි 24, ජේම්ස් නීෂම් 24, මිචෙල් සෑන්ට්නර් 24, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 32, කගිසෝ රබාඩා 25/3, ඉම්රාන් තාහිර් 14/2, ඇන්ඩිල් පෙලුක්වායෝ 35/2)

දකුණු අප්‍රිකාව - ඕවර 32.2 කදී කඩුලු 4 ක් දැවී 150  
(ෆෆ් ඩුප්ලෙසී නොදැවී 51, ඒ. බී. ඩිවිලියර්ස් 23, ඬේව්ඞ් මිලර් නොදැවී 45, ජීටන් පටේල් 26/2)


- 036


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.