TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කරච්චි පිල අවසන් තරගයෙන් ඉවතට

. Views 2016 4 March 2017 19:08

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (3 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පේෂාවර් සල්මි කණ්ඩායම හමුවේ ලකුණු 24 කින් පරාජයට පත් වීම නිසා කුමාර් සංගක්කාර නායකත්වය දරණ කරච්චි කිංග්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය කරච්චි කිංග්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ජෝදාන් සහ වහබ් රියාස් කඩුලු 3 බැගින් බිඳහෙළමින් කරච්චි කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කළහ.

ලකුණු 80 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 62 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට කරන් පොලාඞ් (47) සහ ඉමාඞ් වසීම් (24) සමත් වුවද, කරච්චි කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 26 කදී වාර්තා වූ පොලාඞ්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 19 කදී වාර්තා වූ වසීම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.

ආරම්භක පිතකරු ක්‍රිස් ගේල් පන්දු 31 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් වූ අතර නායක කුමාර් සංගක්කාරට පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කිංග්ස් පිල වෙනුවෙන් වේගවත් ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු කම්රාන් අක්මාල් (104) එය හයේ පහර 7 කින් සහ හතරේ පහර 6 කින් සැරසීය. රවී බොපාරාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවීයාමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට අක්මාල් පන්දු 65 කට මුහුණ දී සිටියේය.

ඬේවිඞ් මාලන් (36) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 97 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ අක්මාල්, ඉන් නොනැවතී මාලන් සැමුවෙල්ස් (37) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පේෂාවර් සල්මි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 31 කදී වාර්තා වූ ඬේවිඞ් මාලන්ගේ ඉනිමට හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 22 කදී වාර්තා වූ මාලන් සැමුවෙල්ස්ගේ ඉනිමට හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය.


පේෂාවර් සල්මි පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 181  
(කම්රාන් අක්මාල් 104, ඬේවිඞ් මාලන් 36, මාලන් සැමුවෙල්ස් 37)

කරච්චි කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 157
(ක්‍රිස් ගේල් 40, කුමාර් සංගක්කාර 15, කිරන් පොලාඞ් 47, ඉම්ඩාඞ් වසීම් 24, වහබ් රියාස් 24/3, ක්‍රිස් ජෝදාන් 26/3)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.