TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඕස්ට්‍රේලියාව ලකුණු 48 ක් ඉදිරියෙන්

. Views 1240 5 March 2017 19:59

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණඩායම තවත් කඩුලු 4 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 48 ක් ඉදිරියෙන් සිටියි.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ් ලකුණු 25 ක්ද, මිචෙල් ස්ටාක් ලකුණු 14 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 197 ක් එක් කරගත්හ.

ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 52 කට සීමා කරමින් ලකුණු 33 ක් ලබා සිටි ඬේවිඞ් වෝනර් පිටියෙන් ඉවත්කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් සමත් විය. පා ඉන්නටත් එහායින් පතිත වූ අෂ්වින්ගේ පිට දඟ පන්දුව විශාල දඟකැවීමකට ලක්වීමෙන් පසු පිට ඉන්න සිපගැනීමත් සමග වෝනර් ඉනිම නිමා විය.

වෝනර්ගේ නික්ම යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නායක ස්මිත්ට ලකුණු අතරට පැමිණීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සාහ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 52 කට මුහුණදී සිටි ස්මිත් ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.

ඉන්දීය පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් මැතිව් රැන්ෂෝ (60) සමග එක්ව ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෂොන් මාර්ෂ් (66), ඉන් නොනැවතී මැතිව් වේඞ් (නොදැවී 25) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේ ඕස්ට්‍රේලියානු ඉනිමේ කොදු නාරටිය බවට පත් වෙමිනි. මාෂ්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත වූ අතර උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කරුන් නායර් අතට උඩ පන්දුවක් දීම නිසා ඔහුගේ ඉනිම නිමා විය.

සිය ටෙස්ට් දිවියේ තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ආරම්භක පිතිකරු මැතිව් රැන්ෂෝ එය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය. ජදේජාගේ පන්දුවක් හමුවේ රිදිමන් සාහගේ විශිෂ්ට ස්ටම්ප් කිරීමකට හසුවීම නිසා රැන්ෂෝට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ලකුණු 16 ක් ලබා සිටියදී ලබා දුන් අසීර් උඩ පන්දුවක් රැකගැනීමට මිඞ් විකට් කළාපයේ පන්දුරකිමින් සිටි අෂ්වින් සමත් වීමත් සමග ජදේජාගේ තෙවැනි කඩුල්ල බවට පත්වෙමින් පීටර් හෑන්ඞ්ස්කොම්බ් දැවී ගියේය. ඉන් අනතුරුවට පිටියට පිවිසි මිචෙල් මාෂ් ලකුණු ලබා ගැනීමට පෙරාතුවම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉෂාන්ත් ශර්මා සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.


ඉන්දියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 189
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 237

(ඬේවිඞ් වෝනර් 33, මැතිව් රැන්ෂෝ 60, ෂෝන් මාෂ් 66, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 16, මැතිව් වේඞ් නොදැවී 25, මිචෙල් ස්ටාක් නොදැවී 14, රවින්ද්‍ර ජදේජා 49/3)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.