TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පුජාරා - රහනේ ඉන්දියාව ඔසවා තබති

. Views 976 6 March 2017 21:21

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (6 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 213 ක් ලබා සිටියේය. ඒ අනුව ඉන්දීය කණඩායම තවත් කඩුලු 6 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 126 ක් ඉදිරියෙන් සිටියි.

ලකුණු 120 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ කෙමෙන් කෙමෙන් ඉන්දීය ඉනිම ගොඩනැගූ චෙතේෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේ තරගය නතර කරන විට පිළිවෙලින් ලකුණු 79 ක් සහ 40 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දිනය නිමා වන විට ඔවුන් දෙදෙනා එක්ව ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 93 කි. පුජාරාගේ 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත වූ අතර රහනේගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (51) සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ස්ටීව් ඕ’කේෆීගේ පන්දුවක් හමුවේ නායක ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත වී තිබිණ.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ජොස් හෙසල්වුඞ් ලකුණු 57 කට ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගැනීමට සමත් විය. අභිනව් මුකුන්ද්ගේ (16) සහ රවින්ද්‍ර ජදේජාගේ (2) කඩුලු බිඳ දැමූ හෙසල්වුඞ්, නායක විරාට් කෝලි  (15) පිටියෙන් ඉවත් කළේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.  

දෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 39 ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 26 ක් ලබා සිටි මිචෙල් ස්ටාක් පිටියෙන් ඉවත් කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් සමත් වූ අතර එතැන් සිට තවත් ලකුණු 7 ක් තුළ ඉතිරි කඩුලු 3 ම දවාගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. කඩුල්ල මුවාකිරීමට හසුකරගනිමින් මැතිව් වේඞ් (40) සහ නේදන් ලයන් (0) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ජදේජා, ජොස් හෙසල්වුඩ් දවාගත්තේ ලෝකේෂ් රාහුල්ගේ සහායද ඇතිවය.


ඉන්දියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 189
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 276

(ඬේවිඞ් වෝනර් 33, මැතිව් රැන්ෂෝ 60, ෂෝන් මාෂ් 66, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 16, මැතිව් වේඞ් 40, මිචෙල් ස්ටාක් 26, රවින්ද්‍ර ජදේජා 63/6, රවිචන්ද්‍රන් අෂ්වින් 84/2)

ඉන්දියාව දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 213
(ලෝකේෂ් රාහුල් 51, චෙතේෂ්වර් පුජාරා නොදැවී 79, අජින්ක්‍යා රහනේ නොදැවී 40, ජොස් හෙසල්වුඞ් 57/3)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.