TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ලෝකයේ හොඳම 10 අතරට යාම සිහිනයයි - කුසල්

දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට.. Views 2822 7 March 2017 22:14

ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනාගෙන් අයකු වීම තම සිහිනය බවත් ඒ සඳහා ටෙස්ට් තරග වලදී තමන්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 45 හෝ 50 ට ඉහළින් තබාගැනීම අරමුණ බවත් කුසල් මෙන්ඩිස් කියයි. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් දිනයේදී බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ නොදැවී ලකුණු 166 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් දිනය අවසානයේදී මාධ්‍යවේදීන් අමතා එසේ පැවසීය.

ගාල්ල ක්‍රීඩාංගණයේදී අවසන් වරට පැවැති ටෙස්ට් තරගයේදීත් වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඕස්ටේ්‍රලියානු පිල හමුවේ ලකුණු 86 ක් ලබාගත්තේය.

“මේ තණතීරුව පිතිකරුවන්ට තරමක් හොඳයි. ඒත් ඕස්ට්‍රේලියානු පිල එක්ක තිබ්බ තරගයේදී තණතීරුව මීට වඩා හුඟාක් දඟ කැවුණා” යයි කී කුසල් මෙන්ඩිස් මෙම තරගයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක පන්දු යවන්නකු එක්වීම ප්‍රශ්නයක් නොවන බවත් කීවේය.

මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ට උඩපන්දුවක් දීමෙන් පිටියෙන් ඉවත්ව යමින් සිටි කුසල් මෙන්ඩිස් නවතාගත් විනිසුරු අලීම් දාර් මහතා පන්දු යවන්නාගේ පාදය පතිත වන ස්ථානය පරීක්‍ෂා කරන්නයි තුන්වැනි විනිසුරු එස්. රවී මහතාට කීවේය. මුහුණ දුන් පළමුවැනි පන්දුව නිපන්දුවක් වූයෙන් තවදුරත් පිටියේ රැඳී සිටීමේ අවස්ථාව මෙන්ඩිස්ට ලැබිණ.

“මා ගැහැව්වේ වැරදි පාරක් වෙන්න ඇති. ඒත් මා සාමාන්‍යයෙන් සෙල්ලම් කරන විදිහ ඒක තමයි”

“කොහොම වුණත් මට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කණ්ඩායමට මගෙන් ඉෂ්ඨ වෙන්න තියෙන යුතුකම කරන්න මට ලැබුණා....ඒක ගැන සතුටුයි” යයිද හෙතෙම පැවසීය.

දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීම බෙහෙවින් මන්දගාමී විය. දිවා ආහාරයට පෙර යැවුණු ඕවර 24 න්ම ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 61 ක් පමණි. ඒ අතරවාරයේදී උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන්ගත්හ. එසේ වුවත් දිවා ආහාරයෙන් පසුව පිතිකරුවෝ ලකුණු කරා යමින් සිය ආත්ම විශ්වාසය වැඩි කරගත්හ.

“මම නැවතත් පන්දුවට පහර දෙද්දී දිමුත් අයියාත් අසේල අයියාත් මට නිතරම කතා කළා. ඒ දෙන්නාම කිව්වේ ගහන්න බැරි පන්දු අතහරින්න කියලයි” යයිද මෙන්ඩිස් කීවේය.

ටෙස්ට් තරග 15 කට පමණක් සහභාගි වී සිටින කුසල් මෙන්ඩිස්ට සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම කරා යාමට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 10 ක් පමණි. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වන්නේ පසුගිය අගෝස්තුවේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ලබාගත් ලකුණු 176 යි.

“ලකුණු 200 ලබාගන්න මා ඉතා ආශාවෙන් බලා ඉන්නවා. පල්ලෙකැළේදී මට ඒක ලබාගන්න බැරිවුණා. ඇරත් මේ වෙලාවේ මම හොඳින් ලකුණු ලබාගනිමින් ඉන්න පිතිකරුවා නිසා කණ්ඩායම වුණත් මගෙන් තව තවත් ලකුණු බලාපොරොත්තු වෙනවා” යයිද මෙන්ඩිස් පැවසීය.

අද දිනයේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියේය.

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.