TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

එල්ගාගේ ශතකයෙන් ද. අප්‍රිකාවට සාර්ථක ආරම්භයක්

. Views 746 8 March 2017 22:03

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ඩුනෙඩීන්හි විශ්ව විද්‍යාල ක්‍රීඩාගංණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගය පළමු දිනය සඳහා නතර කරන විට මුල් ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට ආරම්භක පිතිකරු ඩීන් එල්ගා ලකුණු 128 ක්ද, ටෙම්බා බවුමා ලකුණු 38 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දිනය නිමා වන විට ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බණ්ධතාව ලකුණු 81 කි.

අද දිනයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකය ලබාගත් ඩීන් එල්ගා එය හතරේ පහර 22 කින් සැරසීය. ලකුණු 22 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී නායක ෆෆ් ඩුප්ලෙසි (52) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද එල්ගා සමත් විය. ඩුප්ලෙසිගේ 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට ලකුණු 3 ක් ලබා සිටි ආරම්භක පිතිකරු ස්ටීවන් කුක් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් වූයේ කුක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

ඉන් අනතුරව ක්‍රියාත්මක වූ නීල් වෝග්නර් ප්‍රබල පිතිකරුවන් ලෙස සැලකෙන හසීම් අම්ලා සහ ජේ. පී. ඩුමිනි ලකුණු 1 බැගින් ලබා සිටියදී පිටියෙන් ඉවත් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම අසරණ තත්ත්වයක ඇද දමමිනි. අම්ලාගේ කඩුල්ල බිඳ දැමූ වෝග්නර්, ඩුමිනිගේ කඩුල්ල දවාගත්තේ රොස් ටේලර්ගේද සහාය ඇතිවය.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම - කඩුලු 4 කට 229
(ඩීන් එල්ගා නොදැවී 128, ෆෆ් ඩුප්ලෙසි 52, ටෙම්බා බවුමා නොදැවී 38, නීල් වෝග්නර් 59/2)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.